සිනමායා
සිනමායා
-----------------
මා කිසියම් වැඩකට කොළඹ ගිය විට බොහෝ විට සිදු කරන දෙයක් නම් චිත්‍රපටයක් නැරඹීම ය. ඇතැම් විට එක චිත්‍රපටයක් වෙනුවට දෙකක් ම නරඹන අවස්ථා ද ඇත. මගේ මේ නරක පුරුද්ද නිසා කොළඹ ගිය ප්‍රධාන කාරණය මගහැරුණු අවස්ථා ද නැත්තේ නොවේ. එවත් අකරතැබ්බයන් කොතෙක් සිදුවුව ද නැවත කොළඹ ගියවිට චිත්‍රපටයක් නරඹන්නේ නැතිව සිටීමට තරම් කිසිවිටෙක මම මට අකාරුණික නොවීමි.
බොරැල්ලේ රිට්ස් හා ලිඩෝ සිනමා ශාලා, බම්බලපිටියේ මැජෙස්ටික් සිනමා ශාලා, වැල්ලවත්තේ සැවෝයි හා රොක්සි සිනමා ශාලා එකල මගේ ජීවන නැවතුම්පොළවල් බඳු විය. මේ සිනමා ශාලා හා බැඳුණු සොඳුරු අතීත ස්මරණයන් ද බොහෝ ය. මෙකී සෑම සිනමාශාලාවක ම වාගේ චිත්‍රපට සියයකට වඩා නරඹා ඇති බව නම් මට විශ්වාස ය. ඒ අතර එකම චිත්‍රපටය කිහිප වරක් නැරඹූ අවස්ථා ද බොහෝ ය.
මෑතක ඉදි වූ නවීන සිනමා ශාලා සංකීර්ණ වන PVR, CCC ආදියෙහි ද මා චිත්‍රපට නරඹා ඇත. එම සිනමාශාලා තාක්ෂණය හා පහසුකම් අතින් බොහෝ ඉදිරියෙන් සිටින බව සැබෑ ය. නමුත් මගේ අතීත සැමරුම් කැටි කරගත් පෙර කී සිනමා ශාලාවලින් තරම් යාවජීවකමක් මේ නවීන සිනමාශාලාවලින් මට නො දැනෙයි. එහෙත් තව දශකයක් දෙකක් ගත වන විට PVR, CCC ආදී නවීන සිනමාශාලා හා අතීතකාමයෙන් බැඳුණු පරම්පරාවක් ද නිසැකයෙන් ම බිහිවනු ඇත.
මීට මාස දෙකකට පමණ පෙර කොළඹ ගිය අවස්ථාවක මම බොරැල්ලේ ලිඩෝ සිනමා ශාලාව වෙත ගියෙමි. එදා නම් සවස 4:30 දර්ශනය නැරඹීමේ අපේක්ෂාවෙන් සිනමා ශාලාව වෙත ගියේ කොළඹ පැමිණි මූලික කාරණය ඉටුකරගැනීමෙන් අනතුරුව ය. එහි ගිය විට ලිඩෝ සිනමාශාලාවේ ගේට්ටුවට විශාල යකඩ දම්වැලක් සහ ඉබ්බෙකු දමා තිබුණි. මම සිනමාශාලා පරිශ්‍රය දෙස සිසාරා බැලුවෙමි. හැම තැනම පාලු මූසල ගතියකි දිස්වූවේ. ඒ අසල පිහිටි තේ කඩයෙන් විමසූ විට එහි සේවකයකු පැවසුවේ 'දැන් ඒක වහල නෙ මහත්තයෝ' කියා ය. මට යම් කාංසා සහගත හැඟීමක් දැණිනි. ලිඩෝ සිනමාශාලාව හා බැඳුණු අතීත ස්මරණයන් සිනමාපටයක් මෙන් මගේ මනසේ ඇඳී යන්නට විය. වචනවලින් කියා ගත නොහැකි මොකක්දෝ අමුතු මූසල ගතියකින් මනස බොඳව ගියා සේ ය. මට සිහි වූයේ ඊට සතියකට පෙර මෙම සිනමාහලේ 'ක්ෂිර සාගරය කැළඹිණ' සිනමා පටය නැරඹූ අයුරු ය. එදා මුළු ශාලාවට ම හිටියේ දෑතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ප්‍රේක්ෂක සංඛ්‍යාවකි.
චිත්‍රපට බැලීමේ අදහස අත්හැර දැමූ මා නැවත බොරැල්ල හන්දියට ගියේ පිටකොටුවට යාමට 103 බසයක් ගැනීමට ය. අහස වැහි අඳුරෙන් වැසී යන්නට විය. මරදාන පාරේ ඇති බස් නැවතුමට යනවිට සිහින් වැස්සක් ආරම්භ විය. පිටකොටුව දෙසට යාමට තිබූ බසයකට ගොඩවී අසුනකට බර වීමි. බස් රථය මගීන්ගෙන් පිරෙන තුරු නතර කරගෙන සිටී. දැන් නම් තදින් ම වැස්ස වසී. ඇතුලට වතුර එන නිසා මගේ ආසනය අසල තිබූ වීදුරු ජනේලය වසා ගත්තෙමි. මරදාන දෙසට යන රථවාහන ගංගාවේ කිමිදී මගේ බස් රථය ද දැන් සෙමෙන් ඇදෙයි. ලිඩෝ සිනමාශාලාව පිළිබඳ විරහ වේදනාවෙන් පෙළෙන මගේ මනසට දැන් නැඟෙන්නේ මීට වසර දෙකකට පමණ පෙර Kandy City Centre ( KCC ) හි සිනමා සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීමට මා මහනුවර ගිය දිනය ය. තාක්ෂණයෙන් අගතැන්පත් ඉහළ පහසුකම් සහිත සිනමා ශාලා තුනකින් මෙම සිනමාශාලා සංකීර්ණය සමන්විත විය. විවෘත කිරීමෙන් පසු ඊළඟ සිනමා දර්ශනය ආරම්භ වන විට සිනමා සංකීර්ණය අතුරු සිදුරු නැතිව පිරී යන්නට තරම් සෙනඟක් ද එදින පැමිණියේ ය . Kandy City Centre වෙතින් දිවා ආහාරය ගෙන නැවත කොළඹ බලා එන විට ද පැවතියේ මෙවැනි ම වැහි අඳුරකි; වැහි අඳුරටත් වඩා මගේ හදවත වෙලාගත් තන්තුවාවකි. ඒ නුවර නගරය වටා පිහිටි, මගේ සරසවි සමයේ ජීවන සැමරුම් කැටි කරගත් රීගල්, වෙම්බ්ලි හා තුසිත (පේරාදෙණිය) යන වැසි ගිය සිනමා ශාලා දැකීමෙන් ඇති වූ තන්තුවාවකි.
පිටකොටුව පුද්ගලික බස් නැවතුම් පල අසල දී මහ වැස්සේ ම බසයෙන් බැසගත් මම කඩිනම් ගමනින් ගොස් ගාල්ල බලා යාමට නතර කර තිබූ අධිවේගයේ බසයකට ගොඩ වුණෙමි. පහසු අසුනක් බලා වාඩි වූ මම බෑගය ඉහළ රඳවනයේ තබා තැන්පත් වුනෙමි. බසයෙහි වායුසමීකරණයත්, එලියේ වහින වැස්සේ සීතලත්, ගමන් මහන්සියත් නිසා මගේ මොළය විවේකයක් ගැනීමට අර අදී. නින්දත් නො නින්දත් අතර දැවටෙන මගේ ඇස් දෙක වරින්වර අඩවන් වෙයි. කාංසාව මගහරවා ගැනීමට නින්ද ද හොඳ බෙහෙතකි.
බසය දැන් හයිලෙවල් පාර දිගේ ගමන් කරයි. නුගේගොඩ සිට කොට්ටාව - මාකුඹුර දක්වා ම නොයෙකුත් ෆුඩ්-සිටි ය. රතු පාට - කොළ පාට - නිල් පාට - කහ පාට ෆුඩි-සිටි ය. දැන් දම් පාට ෆුඩි-සිටි ද ඇත. රතු පාට ෆුඩ්-සිටියට අල්ලපු වැටේ කොළ පාට ෆුඩි-සිටියකි. එතන ම පාරෙන් අනිත් පැත්තේ තවත් රතු පාට ෆුඩ්-සිටියකි. මේ ෆුඩ්-සිටි ඉදිරිපිට, නවතා ඇති දුසිම් ගණනක් නවීන මෝටර් රථ ය. මේ රතු- නිල්- කොල ෆුඩ්-සිටි ඇතුලත ඕනෑ තරම් කෑම - බීම - ආහාර - දත් බෙහෙත් - සබන් - පවුඩර් ය; පැණි බීම - සිසිල් බීම - රට බීම ය; නූඩ්ල්ස් - මැකරෝනි - ස්පැගටි ය; චිකන් - බීෆ් - මටන් ය; හැම් - බේකන් - සොසේජ් ය; චීස් - බටර් - මොසරැල්ලා ය; හොට් ඩෝග් - බර්ගර් බන් - ඩෝනට් ය; ෆලූඩා - නෙස්කැෆේ - කැපුචිනෝ ය. තවත් නොයෙකුත් උපභෝග පරිභෝග වස්තු ය; හැට හතර මායම් ය; දහ අට සන්නි ය; අට අනුවක් ව්‍යාධි ය. සල්ලි නැතත් දැක්කත් බඩ පෙරෙන්නේ ය; ඇල්ලුවත් හිත පිරෙන්නෙ ය; ලඟින් හිටියත් පොඩි ගැම්මක් එන්නේ ය.
ෆුඩ්-සිටි පරිශ්‍රයට වාහනය ඇතුළු කරන විට ම මුළුමහත් ශරීරය ම ආලෝලනය වී යන්නේ පොපියන චමත්කාරයකිනි. ෆුඩ්-සිටියේ දොර අරගෙන ඇතුළු වන විට ම දැනෙන්නේ අමුතු ම අහ්ලාදය කි; කිව නො හැකි ප්‍රහර්ෂයකි. ෆුඩ්-සිටියෙන් තාවකාලිකව දෙන ට්‍රොලියක බඩු පුරවාගෙන, අතින් කටින් එල්ලාගෙන එළියට එන විට දැනෙන්නේ රණබිමක් දික්විජය කර එන සෙන්පතියෙකුට දැනෙන්නාක් බඳු පුදුම ගැම්මකි. රැගෙන ආ බඩු තොගය මෝටර් රථයේ ඩිකියට පටවාගෙන පිටත්ව යන විට දැනෙන්නේ අත්පත් කරගත් බඩු තොගය පිළිබඳව හටගත් ආර්චනකාමී ආනන්දයකි. ඉතින් මොකට ද තවත් සිනමාශාලා, සිනමා ශාලාවකින්වත් ලැබිය නො හැකි ත්‍රාසය - භීතිය - කුතුහලය - හාස්‍ය - ශෘංගාරය ආදී නව නළු රසය ම ෆුඩ්-සිටියෙන් ලැබෙන විට.
මගේ බස් රථය දැන් පැමිණ ඇත්තේ බොරැල්ලේ කොටා පාරට ය. කොටා පාර පටන් ගන්නා තැන ම හාත්පස අරා සිටින රමණීය මහා ෆුඩ්-සිටියකි. එය රතු පාට - කොළ පාට - නිල් පාට - කහ පාට හෝ දම් පාට යන පාටවලින් කුමන පාට දැයි හඳුනා ගත නො හැකි තරමට ම මගේ ඇස් නිලංකාර වී ඇත. ඇතැම් විට ඒ සියලුම පාටවල මිශ්‍රණයක් එහි තිබෙනවා වන්නට ද පුළුවන. ඩෙනිම් කලිසම්, ලිනන් කමීස, කොටන් ෂෝට්, දුහුල් බ්ලවුස්, ලෙගින් කලිසම්, ඇඟට ම ඇළුනු කෙටි ටීෂර්ට්, බ්‍රේස්ලට් - ඇන්ක්ලට්, නිය අඳුන්, තොල් අඳුන්, වත්සුනු, සුවඳ විලවුන්, ටැටූ, බැටූ හැඳ පැලඳ ගත් ගැහැණුන් හා මිනිසුන් කවට බස් දොඩමින් මහත් උද්යෝගයෙන් එයට යති - එති; ෆුඩ්-සිටියට ඇතුළුවීමට පොදි කති. ඔවුන්ගේ මුහුණුවල උතුරන සිනා ය. මම ද මේ අලුත් ෆුඩ්-සිටියට යාමට බසයෙන් බැසගතිමි. මේ මහා ෆුඩ්-සිටි ප්‍රාසාදය පසෙකින් එදා ලිඩෝ සිනමාශාලාව පසෙකින් තිබූ කුඩා තේ කඩය තවමත් තිබේ. එතකොට ලිඩෝ එක………..
එක්වරම මගේ උරයට කවුද තට්ටු කරන්නට විය. මම ගැස්සී ඇහැරුනෙමි. බස්රථය අධිවේගී මාර්ගයේ වේගයෙන් ධාවනය වෙයි. වැස්ස දැන් මොරසූරන වැස්සකට පෙරලී ඇත. මොරසූරන වැහි බොරලු වහලේ වදින හඩටත් වඩා හඬින් බසයේ ඩීවීඩී ප්ලේයරය ක්‍රියාත්මක වෙයි. කොන්දොස්තර රුපියල් 740ක ටිකට් පතක් මා වෙත දික් කරගෙන සිටී. මම පසුපස පොකැට්ටුවට අත යවා රුපියල් 1000 හේ කොළයක් ගෙන ඔහුට දී ටිකට් පත ලබාගත්තේ මගේ සිහිනය බිඳ දැමීම පිළිබඳව හටගත් අප්‍රසාදයෙන් යුතුව ය.
… රවි කළුපහණ …
( ලිපිය සංවාදයට විවෘතයි. මගේ ලිවීමේ ගාස්තුව ඔබේ අදහස් ය)
#kandycitycentre
#pvrcinemas
#ColomboCityCentre
#ScopeCinemas
#majesticcity
#SavoyCinemas
Comments
Post a Comment