ආලෝක වර්ෂ ගණනාවක් ඉදිරියෙන් සිටි සයිමන් නවත්තේගම

 ආලෝක වර්ෂ ගණනාවක් ඉදිරියෙන් සිටි සයිමන් නවගත්තේගම

------------------------------------------------------------------


මා සරසවියට ඇතුළු වූයේ 1998 වසරේ අගෝස්තු මාසයේ ය. ඒ 1996 වසරේ අගෝස්තුවල උසස් පෙළ විභාගයට පෙනී සිට වසර දෙකකට පසුව ය. ඒ වසර දෙක මා ගෙවා දැමුවේ සංගීතයෙන් හා පොත පත කියවීමෙනි. වැඩිපුර කල්ලි කණ්ඩායම්වලට මා නොගියත් කිසිවිටෙක පාළුවක් නො දැනුණේ මාගේ මේ විනෝදාංශ දෙක නිසා ය. මා සරසවියට යන විට වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර, අමරසේකර, ජයතිලක, සේකර ආදීන්ගේ සෑම පොතක් ම වාගේ කියවා තිබුණි. සයිමන් නවගත්තේගමගේ ද ඒ වන විට ලියා තිබුණ සෑම පොතක් ම වාගේ කියවා තිබුණි. 


සරසවියේ මා හැදෑරූ පාඨමාලාව ඉගැන්වූයේ ඉංගිරිසි මාධ්‍යයෙනි. එනිසා පාඨමාලාව ආරම්භ වීමට පෙර මාස හයක කඩිනම් ඉංගිරිසි පාඨමාලාවක් අපට තිබුණි. මෙම කාල සීමාව බොහෝවිට අප නිදහසේ ගත කළ කාලයක් විය. මා එක වරක් කියවා තිබූ නවගත්තේගමගේ සමහර පොත් දෙවන වරට කියැවූයේ මෙම කාලයේ ය. අධියථාර්ථවාදී ශෛලියෙන් නවගත්තේගම රචනා කළ පොත්වල දාර්ශනික පසුබිම සකස් වී තිබුණේ ප්‍රධාන දර්ශනවාද තුනක් මූලික කරගෙන ය. ඒ බෞද්ධ ප්‍රඥා මාර්ගය, ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණවාදය හා මාක්ස්වාදයයි. මෙහි බෞද්ධ ප්‍රඥා මාර්ගය පදනම් වී තිබුණේ හීනයානයට වඩා මහායානික හා තන්ත්‍රයානික දර්ශනයන් මත ය. නවගත්තේගමගේ කෘති දෙවන වර කියවන විට ඒවාට පසුබිම් වූ දාර්ශනික අදහස් පිළිබඳ යම් අවබෝධයක් තිබූ නිසා පළමු කියවීමට වඩා ලොකු ගැඹුරක් දුටිමි. විශේෂයෙන්ම සමකාලීන දේශපාලන යථාර්ථයන් නවගත්තේගම අධියථාර්ථයට නංවා ප්‍රතිනිර්මාණය කළ අයුරු හඳුනා ගත්තේ දෙවන කියවීමේ දී ය. 


ඒ කාලයේ සරසවියේ දී ඉතා රසවත් සිදුවීමක් සිදුවිය. එම සිදුවීම මගේ කියවීම්වලට ද සම්බන්ධයක් තිබූ නිසා මට අද මෙන් එය මතක ය. සිදුවීම කෙටියෙන් මෙසේ ය. අපේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා නවකතාවක් ලිවීය. ඔහු එවකට පාලන බලය හෙබවූ ප්‍රධාන දේශපාලන පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙක් වූ නිසා ඔහුගේ නවකතාවට රාජ්‍ය මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ද ලැබුණි. මට ඒ නවකතාවේ නම දැන් මතක නැතත් එහි එහෙන් මෙහෙන් පිටු කීපයක් කියවූ බව නම් මතක ය. ඓතිහාසික නවකතාවක් වූ එය පාලක පක්ෂයට දරදිය ඇදීමේ අරමුණින් ලියූ ප්‍රචාරකවාදී කෘතියක් ලෙසිනි මට පෙනුනේ. ඒ දිනවල සෑම සතියක ම වාගේ ඔහුගේ නවකතාව පිළිබඳ ගුණ වැයූ ලිපි සිළුමිණ පත්‍රයේ පළ විය. සෙනසුරාදා දිනවල දේශන නොමැති නිසා බොහෝ විට අප කරනුයේ විශ්වවිද්‍යාලයට ගොස් ඉරිදා පුවත්පත් කියැවීම ය. ( එම යුගයේ ද ඉරිදා පුවත්පත් සෙනසුරාදා පිටවිය. ) එක සෙනසුරාදාවක මහත් ගැටලුවක් වූයේ ලක්බිම පුවත්පත නොමැතිවීමයි. එක පුවත්පතක පිටපත් කිහිපයක් ම විවිධ තැන්වල සිසුන්ට කියවීමට තැබීම විශ්වවිද්‍යාලය තුළ සිදුවුව ද, ඒ එකදු තැනකවත් ලක්බිම පත්තරය නො වී ය. ඒ දිනවල ලක්බිම ඉතා ජනප්‍රිය පත්‍රයක් වූ නිසා සියලු දෙනා ම එය සොයන්නට විය. පරිපාලනයෙන් විමසුවද ඒ පිළිබඳ ඔවුන් කිසිවක් නො කී ය. අපේ එක මිත්‍රයෙක් විශ්වවිද්‍යාලය ඉදිරිපිට තිබූ පුවත්පත් අලෙවි කුටියෙන් ලක්බිම පුවත් පතක් මිල දී ගෙන ආ විටය අපට කාරණය වැටහුනේ. ලක්බිම පත්‍රයේ දෙවන කොටස නම් කර තිබුණේ 'මංජුසාව' ලෙස ය. එය විශේෂාංග අතිරේකයකි. එහි මුල් පිටුවේ තිබුණේ අපේ උපකුලපතිවරයාගේ නවකතාව පිළිබඳ විචාරයකි. එහි පොල්ගෙඩි අකුරෙන් සදහන් හෙඩිම වූයේ " සිරිවීර සිටින්නේ නවගත්තේගමට වඩා ආලෝක වර්ෂ ගණනාවක් පිටුපසින්" යන්න ය. සිරිවීර යනු උපකුලපතිවරයාගේ නමයි. මාස ගණනාවක් තිස්සේ රාජ්‍ය මාධ්‍ය මගින් පුම්බන ලද ඔහුගේ නවකතාවේ සායම දියවී ගොස් ඇත. කෙසේ වුවත් පත්තරය හංගා ඇත්තේ උපකුලපතිවරයාගේ නියෝගයක් අනුව ද එසේ නොමැති නම් උපකුලපතිවරයාගෙන් ලකුණු දාගැනීමට උත්සුක වූ වෙනත් අයෙකුගේ නියෝගයක් පරිදි දැයි අපි නො දත්තෙමු. කෙසේ වුවත් සිදු කර ඇති තක්කඩිකමට ශිෂ්‍යයෝ හොඳ උත්තරයක් දුන්හ. උත්තරය නම් ක්ෂණිකව එකිනෙකා අතරින් මුදල් එකතු කර ලක්බිම පුවත්පතේ පිටපත් විශාල ප්‍රමාණයක් මිල දී ගෙන විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල අතර මෙන්ම ශිෂ්‍යයන් අතර ද එම පිටපත් බෙදා දීමයි. ඉන්පසු සිළුමිණ පත්තරයේවත් උපකුලපතිවරයාගේ නවකතාව ගැන ගුණ ගායනා යනවා අපි නො දුටිමු. 


මේ සිදුවීම හදිසියේ මගේ සිහියට ආවේ සුනිල් ආරියරත්නයන් නිර්මාණය කළ 'ක්ෂීර සාගරය කැළඹිණ' නම් චිත්‍රපටය මෑතක දී බොරැල්ලේ ලීඩෝ සිනමා ශාලාවේ දී නැරඹූ අවස්ථාවේ ය. පෙම්සුව මෙන්ම කම්සුව විඳීමට බොක්ස් වලට රිංගාගත් පෙම්වතුන් හැරුණු විට බැල්කනියේ සිටි එකම ප්‍රේක්ෂකයා මා පමණි. කෙසේ හෝ පස්වරු 01:30 සිට 03:30 තෙක් සිනමා තිරය දෙස ආයාසයෙන් බලා සිටි මා සිනමා ශාලාවෙන් එළියට ආවේ යම් දඬුවමකින් නිදහස් වූවෙකු සේ ය. "සයිමන් නවගත්තේගමගේ ක්ෂීර සාගරය කැළඹිණ නවකතාවේ සිනමා අනුවර්තනය" යැයි සඳහන් කරගෙන ඇති සුනිල් ආරියරත්නයන්ගේ "ක්ෂීර සාගරය කැළඹිණ" නම් වීඩියෝව නරඹන විට මට නැවත නැවතත් සිහිවූයේ එදා ලක්බිම පුවත්පතේ තිබූ සිරස්තලයයි. එය "සුනිල් ආරියරත්නයන් සිටින්නේ සයිමන් නවගත්තේගමයන්ට වඩා ආලෝක වර්ෂ ගණනාවක් පිටුපසින්" යැයි සංශෝධනය කර භාවිත කරන්නේ නම් එම උධෘතය මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් කෙතරම් අර්ථපූර්ණ දැයි මට දැන් නිතර සිතේ. 


 ... රවි කළුපහණ ...


( ලිපිය සංවාදයට විවෘතයි.

මගේ ලිවීමේ ගාස්තුව ඔබේ අදහස් ය.

මීළඟ ලිපියෙන් සයිමන් නවගත්තේගමගේ ලියමන් සහ 'ක්ෂීර සාගරය කැළඹිණ' පිළිබඳ කතාකරමු. )

Comments

Popular posts from this blog

කිමද උන් මා දෙස නො ලැග්ගේ

විශ්වවිද්‍යාලයෙන් පැන්නූ "විශ්වවිද්‍යාලය"