කිමද උන් මා දෙස නො ලැග්ගේ

 "සලා සිකි පිල් මලග ලැග්ගේ


සඳ ද අත් ගල් තෙලෙහි ලැග්ගේ


මහද තුළ මන් යොන ද ලැග්ගේ


කිමෙක උන් මාදෙස නොලැග්ගේ"


ඉහත කවිය මා උපුටා ගත්තේ "එළු සඳැස් ලකුණ" නම් ග්‍රන්ථයෙනි. දහතුන්වන සියවසේ දී පමණ රචනා වූ මෙම ග්‍රන්ථය ‍"භද්‍ර " නම් හිමි නමකගේ කෘතියක් ලෙස සැලකේ. එය කාව්‍යකරණය සඳහා අවැසි විරිත් ශාස්ත්‍රය පිළිබඳ ලියවුනු මාර්ගෝපදේශය කි.


නමුත් මෙම කවිය එළු සඳැස් ලකුණ කළ භද්‍ර හිමියන්ගේ නිර්මාණයක් නම් නොවේ. උන්වහන්සේ එය උපුටා දක්වනුයේ " කනීල්" නැමති විරිතට නිදර්ශනයක් වශයෙනි. එසේ නම් මෙම කවිය දහතුන්වන සියවසේ හෝ ඊට පෙර නිර්මාණය වූ කවියක් විය යුතු ය. මේ පිළිබඳව අදහස් දක්වන ප්‍රවීණ ගත්කතුවර ගුණදාස අමරසේකරයෝ මෙය එවකට පැවති ජන කවියක් විය හැකි බව පවසති. ඇතැම් විට මෙය මහාවිහාරිකයන් ගේ ද්වේශයේ ගින්නෙන් අළු වී ගිය අභයගිරිවාසී වියතෙකුගේ ග්‍රන්ථයක තිබූ කවියක් වීමට ද පුළුවන. 


ජනකවියක් වුව ද ජනවහරේ ආභාසය ලැබූ වියත් කවියෙකුගේ නිර්මාණයක් වුව ද මෙය නිර්මාණාත්මක ගුණයෙන් පිරිපුන් ධ්වනීපූර්ණ කවියක් බව නම් පැහැදිලි ය. කිසියම් වියෝගී අත්දැකීමක් හෘදයසංවාදී ලෙස සංවේදනය කරන්නකි එය. කවියා පාරිසරික සංකේත භාවිත කරනුයේ සිය වියෝගී අත්දැකීම් තීව්‍ර කිරීමට ය.


පිල් සඟල විදාගත් මොනරිඳු මලින් බර වූ තුරු අතු අග ලගී. මොණරිඳූ පිල් සඟළ විදා අනග රැගුම් රඟනුයේ සිය විරුද්ධ ලිංගිකයා ආකර්ෂණය කරගැනීමට බව අපි නොදනිමු ද? වෘක්ෂ ලතාවෝ මලින් සැරසෙනුයේ ප්‍රජනනය උදෙසා බව ද අපි දනිමු. නමුත් ඉන්පසු සිදුවන දේ නම් සරාගී හැඟීම්වලට හිතකර නොවේ. මන්ද සරාගී හැඟුම් පුබුදන සඳ අස්ථානගත වන බැවිනි. සඳ අත් ගල් තලෙහි ලගී.කූටප්‍රාප්තියට පත් නොවූ ශෘංගාරාත්මක චෛතසිකයන්ගෙන් පිරුණු සිතෙහි ඇති අඳුර ඉන් නිරූපණය වෙයි. "මනයොන්" යනු අනංගයා ය. තුරුණු සිත් තුළ සරාගික හැඟීම් අවුළුවන්නේ ඔහු ය. ඒ ඔහුගේ උක්දඬු දුන්නෙත් කුසුම්අළු විදීමෙනි. වෑත්තෑවේ හිමියෝ ද "මනයොන් දෙන කුසූමළුවෝ" ගැන පැවසූ හ. 


"සුරඟන රඟ රඟ හළුවෝ


දුටු දන මන නෙත් වෙළුවේ


මනයොන සර කුසුමළුවෝ


තැන තැන රඟ දෙති නළුවෝ"


කතකයාගේ හදතුල ද අනංගයා ලැගුම් ගනී. හදවත ඇතුළාන්තයෙන්ම ආදරය ඉල්ලා සිටී. නමුත්, ඔහුගේ සරාගී සිතුවිලිවලට විෂය වූ තැනැත්තිය නම් ඔහු දෙස බලන්නේවත් නැත. කවියේ අවසන් පාදයෙන් ප්‍රකාශ වනුයේ, 

ඉන් කතකයාගේ හදවතේ ඇතිවූ අන්ධකාරය නොවේ ද? 


කිමද උන් මා දෙස නොලැග්ගේ...............


 ... රවි කළුපහණ ...


(මෙය කාලයකට පෙර ලියූ ලිපියකි.

මගේ ලිවීමේ ගාස්තුව ඔබේ අදහස් ය.)

Comments

Popular posts from this blog

විශ්වවිද්‍යාලයෙන් පැන්නූ "විශ්වවිද්‍යාලය"

ආලෝක වර්ෂ ගණනාවක් ඉදිරියෙන් සිටි සයිමන් නවත්තේගම