දෙසීයක් වසක් ජීවත් වෙමු ද?
දෙසීයක් වසක් ජීවත් වෙමු ද? -------------------------------------------------- වසර දෙසීයක් ජීවත් වීමට හැකියාව ඇති මිනිසෙකු මිහිතලය මත සිටී දැයි කියනු උගහට ය. මන්ද වසර දෙසීයක් ජීවත් වූ මිනිසකු පිළිබඳව අපගේ ජීවිත කාලය තුල අප අසා නොමැති හෙයිනි. අවුරුදු එකසිය විස්සක් තිහක් පමණ ජීවත් වූ මිනිසුන් පිළිබඳව තොරතුරු නම් ලෝකයේ විවිධ රටවලින් ඉඳහිට වුව ද අසන්නට ලැබේ. මිනිසෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර හැත්තෑවත් අසූවත් අතර වන මෙම යුගයේ අවුරුදු දෙසීයයක් කෙසේ වෙතත් අවුරුදු සියයක් ඉක්මවා ජීවත් වීම ද සැබැවින් ම ආශ්චර්යයකි. නමුත් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයෝ අවුරුදු දෙසියයක් ජීවත්විය හැකි ආකාරයක් අපට යෝජනා කරති. ඒ අපගේ පන්සිය පනස් ජාතක පොත එක්වරක් කියවීමෙනි. එතුමා පවසන ආකාරයට "දෙසීයක් අවුරුද්දක් ජීවත් වීමෙන් ලැබිය හැකි අත්දැකීමටත් මානව චරිතය පිළිබඳ දැනුමටත් තැන්පත් ණුවනටත් වැඩි අත්දැකීමක්, මානව චරිත දැනුමක් හා තැන්පත් නුවණක් ජාතක පොත උගැන්මෙන් ලැබිය හැකි ය." ජාතක පොත යනු අවුරුදු දස දහස් ගණනක් තිස්සේ මානව ශිෂ්ටාචාරය විසින් අත්පත් කරගන්නා ලද දැනුම හා අත්දැකීම් සමුදායෙන් ඒක දේශයක්...