විශ්වවිද්‍යාලයෙන් පැන්නූ "විශ්වවිද්‍යාලය"

 විශ්වවිද්‍යාලවලින් පැන්නූ "විශ්වවිද්‍යාල"

-------------------------------------------------------------------

විශ්වවිද්‍යාලය යනු විශ්වයේ ඇති සකලවිධ දැනුම ගවේෂණය කරන හා ඒ තුලින් නව දැනුම නිෂ්පාදනය කරන විශිෂ්ට ආයතනයකි. මෙම ක්‍රියාවලියේ ඇති විශේෂත්වය නම් එය විද්‍යාර්ථීන් හා ආචාර්යවරුන් යන දෙපාර්ශවය ම එක්ව සිදු කිරීමයි. එසේ නැතිව ගුරුවරයා ශිෂ්‍යයාට ඉගැන්වීමත්, ශිෂ්‍යයා ගුරුවරයාගෙන් ඉගෙන ගැනීමත් යන ක්‍රියාවලියට පමණක් විශ්වවිද්‍යාලය ලඝු කළ යුතු නොවේ. විශ්වවිද්‍යාලය විසින් තැනිය යුත්තේ ගුරුවරයා අභිබවා යන ශිෂ්‍යයින් ය; තමා අභිබවා යා හැකි ශිෂ්‍යයින් බිහි කරන ගුරුවරුන් ය. යම් ශාස්ත්‍රීය ශික්ෂණයක් අභිවෘද්ධියට පත් වනුයේ එවිට ය. 


විශ්වවිද්‍යාලය යන විශිෂ්ට ආයතනය පිළිබඳ පරමාදර්ශය එය වුවද මින් බරපතළ ලෙස අපගමනය වූ තැන් ද නැත්තේ නොවේ. තමාට අභියෝග කළ හැකි පෞරුෂයක් ගොඩනැගෙනු දැකීමට බිය වූ මහා අධිරාජ්‍යයන් තමාගේ සේනාධිනායකයන්ගේ පුරුෂ ලිංග කප්පාදු කළා සේ තම ශිෂ්‍යයන්ට බරපතල සැහැසිකම් කරන ගුරුවරු ද විශ්වවිද්‍යාල තුළ සිටි. දැනුම ගවේෂණය හා නව දැනුම නිෂ්පාදනය කෙසේ වෙතත් නොයෙකුත් තක්කඩිකම් කර, පන්දම් අල්ලා ආචාර්ය - මහාචාර්ය පට්ටම් ලබාගත් පුස්සෝ ද විශ්වවිද්‍යාල තුළ සිටිති. එවැනි පුස්සන් විශ්වවිද්‍යාල තුල සිටීමේ බරපතලකම කෙසේ ද යත් පිරුණු මිනිසකු දුටුවිට ඊර්ෂ්‍යාවෙන් මිරිකී යන ඔවූහු පන්න පන්නා පහර දෙති; කුහක කුඩුකේඩුකම් කරති. 


"ගුරුවරු නම් දෙවිවරු" කියා කියමනක් ඇත. මට නම් සිතෙන්නේ ගුරුවරු දෙවිවරුන්ට ද වඩා උසස් කියා ය. නමුත් එවැනි බුහුමනකට පාත්‍ර විය හැක්කේ සැබෑ ගුරුවරයකුට පමණි. සැබෑ ගුරුවරයා යනු විශාල හදවතක් ඇති අප්‍රමාණ මනුස්සයෙකි; තම ශිෂ්‍යයන් කෙරෙහි කොන්දේසි විරහිතව මෛත්‍රිය, කරුණාව හා මුදිතාව පතුරවන්නෙකි. එවැනි ගුරු දෙවිවරු ඕනෑ තරම් අප අතර සිටී. නමුත් තම ශිෂ්‍යයන්ට ඊර්ෂ්‍යා කරන, ස්වාධීන පෞරුෂයන්ට ද්වේෂ කරන, වෙනස් පෞරුෂයක් නො ඉවසන, වෛරය - ක්‍රෝධය - පලිගැනීම පතුරවන ගුරුවරු ද ඒ අතර සිටිති. ඔවුන්ට ගුරුවරු යැයි කීම සැබෑ ගුරුවරුන්ට කරන නිග්‍රහයකි. ලෝක ඉතිහාසයේ පහළ වූ "ඇවිදින විශ්වවිද්‍යාල" බඳු කුශාග්‍ර බුද්ධිමතුන් හා මහා ප්‍රාඥයාන් එම විශ්වවිද්‍යාලවලින් පන්නා දැමීමට ද එවැනි දුෂ්ට ගුරුවරු මූලික වී ඇත.


විද්‍යාවිද්‍යාලවල සිදුවූ මෙවන් නොපනත්කම්වල වින්දිතයන් බවට පත් වූ මහා ප්‍රඥායන් රාශියකි. ඔවුහු ඇතැම් විට ලෝක ඉතිහාසය පවා වෙනස් කළ පුරුෂ ශ්‍රේෂ්ඨයෝ ය; යුග පුරුෂයෝ ය. විශ්වවිද්‍යාලවලින් පැන්නූ "විශ්වවිද්‍යාල" නම් මෙම ලිපි මාලාවේ අරමුණ විශ්වවිද්‍යාල පද්ධතිය විසින් එසේ පන්නා දමන ලද හෝ තමාට ම කලකිරී ඉන් පිටවී ගිය මහා ප්‍රාඥයන් කිහිප දෙනෙකුගේ චරිත හඳුන්වාදීම ය. ඇතැම් විට ඔවුන් විශ්වවිද්‍යාලයෙන් පන්නා දමන්නට ඇත්තේ විශ්වවිද්‍යාලයට දරාගැනීමට නොහැකි තරම් ඔවුන් විශාල වූ නිසා වන්නට ඇත; නැතිනම් ඔවුන්ගේ දැවැන්ත පෞරුෂය දර ගැනීමට තරම් විශ්වවිද්‍යාල විශාල නොවූ නිසා වන්නට ද ඇත. විශ්වවිද්‍යාලයෙන් පිට මං කෙරුව ද ඔවුන් නිර්මාණය කළ නව දැනුම ඇතැම්විට ශතවර්ෂ ගණනාවක් පුරා ශාස්ත්‍රීය ලෝකය ඤාණාලෝකයෙන් එකළු කර ඇත. තමා ඉදිරිපත් කළ මූල මාධ්‍යමික දර්ශනය නිසා දාර්ශනිකයෙක් ලෙස බටහිර ලෝකයේ ද ගරු බුහුමනට පාත්‍ර වූ, එමෙන්ම දෙවැනි බුදුන් ලෙස ලෝ පුරා බෞද්ධයින්ගේ වන්දනීයත්වයට පත් වූ ආචාර්ය නාගාර්ජුන පාදයෝ ද සුප්‍රකට නාලන්දා විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරී ශිෂ්‍යයෙකි. එතුමාගේ කතාව සමඟ මීළඟ ලිපියෙන් හමුවෙමු.


 ... රවි කළුපහණ ...


( මෙම ලිපිය සංවාදයට විවෘතයි.

මගේ ලිවීමේ ගාස්තුව ඔබේ අදහස් ය.)

Comments

Popular posts from this blog

කිමද උන් මා දෙස නො ලැග්ගේ

ආලෝක වර්ෂ ගණනාවක් ඉදිරියෙන් සිටි සයිමන් නවත්තේගම