'සකා' ගේ 'අකා' වැඩ

 'සකා' ගේ 'අකා' වැඩ 

—------------------------------------

සකා නම් ශක්‍රයා ය. හේ බෞද්ධ සාහිත්‍යයේ හමුවන ඉතා ජනප්‍රිය චරිතයකි. බෞද්ධ දේව මණ්ඩලයේ ප්‍රධානියා ලෙස සැලකෙන්නේ ඔහු ය. 'සදෙව් ලොවට අධිපති සක් දෙවිඳු' ලෙස බෞද්ධ පොත පතෙහි සඳහන් වනුයේ, ශක්‍රයා දිව්‍යලෝක හයකට අධිපති ව සිටින හෙයිනි. ඒ චාතුර්මහාරාජිකය, තාවතිංසය හෙවත් තව්තිසාව, යාමය, තුසිතය, නිම්මානරතිය, පරනිම්මිත වසවර්තිය යන දිව්‍ය ලෝක හය ය. මෙයින් ශක්‍රයා වැඩි වශයෙන් කාලය ගත කරන්නේ චාතුර්මහාරාජිකයේ හා තව්තිසාවේ ය. එනිසා දෙදෙව්ලොවට අධිපති යන නම ද ශක්‍රයාට භාවිත වෙයි. තව්තිසාවේ පිහිටි ශක්‍ර භවන හඳුන්වන්නේ වෛජන්ත ප්‍රාසාදය කියා ය. දේව සභාවේ මුලසුන හොබවමින් ශක්‍රයා වැඩ සිටින්නේ ගලින් කළ ආසනයක ය. දිව්‍ය ලෝක සැප සම්පත් හිමිවූවත් ඔහුට වාඩිවී සිටීමට නම් සුවපහසු ආසනයක් ලැබී නැතිවා සේ ය. මෙම ගල් ආසනය හඳුන්වන්නේ පාණ්ඩුකම්බල ශෛලාසනය කියා ය. එය අරුම පුදුම ගල් ආසනයකි. ඒ මනුලොවේ සිදුවන යම් යම් දේ නිසා මෙකී ගල් ආසනය විටින් විට වෙඬරු පිඩක් මෙන් හුණු වී යන නිසා ය. 


ශක්‍රයා ගමන් බිමන් යන්නේ විජයොත් රථය නම් දිව්‍යමය අස් රියකිනි. එය අශ්වයින් සිය දෙනකු විසින් අදිනු ලබන්නකි. ශක්‍රයාගේ රථාචාර්යා ද අල්පේශාක්‍ය දෙවියෙකි. හේ නමින් මාතලී ය. ශක්‍ර සාරතී ලෙස හඳුන්වන්නේ ද ඔහු ම ය. මාතලී හැරුණු විට ශක්‍රයා සමග නිතර ගැවසෙන අනෙකා පංචසිඛ හෙවත් පන්සිළු ය. හේ දිව්‍යලෝකයේ ගාන්ධර්වයා ය; දිව්‍යමය වීණා වාදකයා ය. හිසෙහි ශිඛර පහක් වන ලෙස කෙස්ස බැඳගෙන සිටින නිසා හේ පංචසිඛ නම් විය. ජාතක පොතේ එන ගුත්තිල ජාතකයේ දී වීණා වාදයෙන් ජය ගන්නා ගුත්තිල පඬිතුමා දිව්‍ය ලෝකයට රැගෙන ඒමට ශක්‍රයා පිටත් කර හරින්නේ ද ඔහුගේ දිව්‍යමය අස් රිය ය. ඒ මාතලී අත ය. නමුත් ගුත්තිල පඬිතුමා විජයොත් රථයේ නැගී දිව්‍ය ලෝකයට පැමිණ දිව්‍යාංගනාවන් පිනවා විණා වාදන ප්‍රසංග පවත්වන විට ශක්‍රයාගේ ගාන්ධර්ව පංචසිඛයා සිටියේ ඇඳ යට රිංගා දැයි ජාතක කතාව නො කියයි. ගුත්තිල පඬිදුන් රැගෙන ඒමට මාතලී අත පිටත් කළ විජයොත් රථය, ගුත්තිල කාව්‍ය රචනා කළ වෑත්තෑවේ හිමියන්ගේ වර්ණනයට හසු වනුයේ මෙලෙසිනි. 


දහසක් සිඳු යොදා

විජයොත් රථය පබඳා

ලොව කැලුමෙන් රඳා

දිලෙන රන් දද පෙළින් සුසදා


ශක්‍රයාට තනියම ගමනක් යන්නට ඕනෑවූ විට ඔහු යන්නේ ඓරාවණ නම් දිව්‍යමය හස්තියා පිට නැගී ය. මෙම ධවල හස්තියාට හිස් තුනකි , දළ හතරකි. ශක්‍රයාගේ වාහනය වූ ඓරාවණ හස්තියා ද අල්පේශාක්‍ය දෙවි කෙනෙකු ලෙස සැලකේ. 


වජ්‍රායුධය නම් දියමන්තියෙන් කළ ප්‍රබල ආයුධයේ හිමිකරුවා ද ශක්‍රයා ය. ලෝකය පාලනය කිරීමට චක්‍රවර්ති රජකු නොමැති කාලවල එම තනතුරේ වැඩ බැලීමට සිදුවනුයේද ශක්‍රයාට ම ය. එවැනි අවස්ථාවල ඔහුට වජ්‍රායුධය භාවිත කිරීමට සිදුවෙයි. එසේ නොමැති විට එය ඔහුගේ පාණ්ඩුකම්බල ශෛලාසනයේ දකුණු බාහුව මත රඳවා තබා ගනී. ශක්‍රයාට ශක්‍රධනු නම් ආයුධයක් ද තිබේ. ඒ ඉන්ද්‍රචාපය හෙවත් දේදුන්නයි. 


දෙදෙව්ලොවෙහි ශක්‍රයාට ඕනෑතරම් දිව්‍යාංගනාවෝ සිටිති. නමුත් ශක්‍රයාගේ අගබිසව නම් ඉන්ද්‍රාණි ය. ශක්‍රයාට ඉන්ද්‍ර යන නම ද භාවිත වෙයි. එනිසා ඉන්ද්‍රගේ බිරිය ඉන්ද්‍රාණි වන්නට ඇත. ඉන්ද්‍ර - වරුණ - අග්නි - යම ආදීහූ වෛදික දෙවිවරු වෙති. අව් - වැසි - සුළං - විදුලි - අකුණු ආදිය පාලනය කරන ඉන්ද්‍ර ඒ අතරින් ප්‍රධාන ය. බෞද්ධ අටුවාචාරීන් ශක්‍රයාගෙන් චරිතය නිර්මාණය කිරීමේ දී ඉන්ද්‍ර නම් වෛදික දෙවියාගේ චරිතය අනුකරණය කළ බව මේ අනුව පෙනේ. ඉඳුරු දික්පති යන නම ද ශක්‍රයාට පර්යාය ය. එහි අදහස ඉන්ද්‍ර දිසාවට හෙවත් නැගෙනහිර දිසාවට අධිපති යන්නයි.


දහසක් දිවැස් ඇති

දෙදෙව් ලොවට ම අදිපති

මට ඉඳුරු දික්පති

දනෝ සක්දෙවිඳු යැයි පවසති

(ගුත්තිල කාව්‍යය - 212)


සහසැස් යනු ද ශක්‍රයා ම ය. එසේ කියන්නේ ඔහුට ඇස් දහසක් ඇති හෙයිනි. පෙරදිග සංස්කෘතිවල හමුවන දෙවිවරු අතරින් ඇස් දහසක් ඇත්තේ ශක්‍රයාට පමණි. හින්දු සාහිත්‍යයට අනුව තාරක නම් මහා බලගතු අසුරයා පරාජය කොට සුර අසුර යුද්ධය දික්විජය කළ ස්කන්ධකුමාරට ඇත්තේ ද ඇස් දොළසක් පමණි. ඒ කෙසේ වුවත් ශක්‍රයාට ඇස් දහසක් ලැබුණු අයුරු නම් ඔහුගේ අසහාය දිව්‍යමය පෞරුෂයට තරම් නො වන්නකි. 


හිමාල අඩවියේ බවුන් වැඩූ ගෞතම නම් ඍෂිවරයාට අහල්යා නම් රූමත් බිරියක් සිටියා ය. ඇය ඉතා තරුණ ය, නිරෝගී ය, ස්වර්ණමය ඡවි වර්ණයෙන් යුක්ත ය. මනා ලෙස පිරුණු ශරීරයෙන් යුතු වූ ඇය සරාගී භාව භාව ලීලාවන්ගෙන් දුටු දන මන් මත් කළා ය. දිනක් කිසියම් රාජකාරී කටයුත්තකට හිමාල අඩවියට ගිය ශක්‍රයාට රූමත් අහල්යාව සම්මුඛ විය. දුටු මතින් ම ඔවුනොවුන් කෙරේ වශීකෘත වූ මේ දෙදෙන තහනම් ප්‍රේමයකට මුල පිරූහ. නමුත් අහල්යා ගේ ස්වාමියා වූ බලගතු ගෞතම සෘෂිවරයා නිසා මේ දෙදෙනාට ම සිය කාය සංසර්ගීය ආශය මුදුන් පමුණුවා ගත නොහැකි විය. මේ සඳහා උපායක් කල්පනා කරන ශක්‍රයා සැවුලකුගේ වේශයක් මවාගෙන ගෞතම ඉසිවරයාගේ අසපුව අසල ඇති ගසක අතු පතර අතරේ සැඟවී හිඳ මැදියම් රැයේ හඬලන්නට විය. අලුයම උදාවී ඇතැයි සිතූ සෘෂිවරයා වහා ලක ලැහැස්ති වී අසල ඇති ගංගාව වෙත ගියේ ශිව දෙවියන් පිදීමට පෙර හොඳින් නා පිරිසිදු වීමට ය. සෘෂිවරයා පිටවීයත්ම නැවත දිව්‍යමය වේශය මවාගෙන අහල්යාගේ යහනට පැමිණි ශක්‍රයා ඇය සමඟ රතිකෙළියේ යෙදෙන්නට විය. නමුත් ගංගාව වෙත ගිය සෘෂිවරයා තරු රටාවල පිහිටිම අනුව තවම මැදියම් රාත්‍රිය බව තේරුම්ගෙන නැවත අසපුව වෙත එන්නේ ශක්‍රයා හා අහල්යා කාම සම්භෝගයේ යෙදී සිටිනු දැක බලවත් සේ කෝප විය. තම බිරියගේ චපලත්වය පිළිබඳ කිපුණු ඔහු ඇය එතැනම ගල් වන සේ ශාප කළේ ය. ශක්‍රයාට ද දඬුවමක් දිය යුතු යැයි සිතූ ඔහු ශක්‍රයාගේ ශරීරය පුරා ස්ත්‍රී නිමිති දහසක් මැවීය. සිදු වූ දෙයින් බලවත් වික්ෂිප්තභාවයට මෙන්ම ලැජ්ජාවට පත් ශක්‍රයා ඍෂිවරයාගේ පාමුල වැටී දෙපා අල්ලාගෙන හඬන්නට විය. ස්ත්‍රී යෝනි දහසක් ශරීරය පුරා තබාගෙන තමා කෙසේ නම් නැවත තව්තිසාවට යන්නේදැයි ශක්‍රයා අකම්පාල වන්නට විය. ශක්‍රයා දේව සභාවේ ප්‍රධානියා නිසාත් තම දෙපා මුල වැඳ වැටී සමාව අයැද සිටින නිසාද ඔහු කෙරෙහි අනුකම්පා කළ ගෞතම ඍෂිවරයා ශක්‍රයාගේ ශරීරය පුරා මවන ලද ස්ත්‍රි යෝනි දහස ඇස් දහසක් බවට පෙරලී ය. සක් දෙවිඳු සහසැස් වූයේ එසේ ය. 


ස්ත්‍රියක වූ අසරණ අහල්යාට සිය ජීවිත කාලය පුරාම අජීවී ගල් රූපයක් බවට පත්වීමටත් දේව සභාවේ ප්‍රධානියා වූ ශක්‍රයාගේ ශරීරයේ ඇස් දහසක් මවා ඔහුගේ බලපරාක්‍රමය වඩා වැඩි කිරීමටත් හේතුව ඔවුන් දෙදෙනාම එක ම වරදක් කිරීම ය. එනිසා බලවතුන් නීතියෙන් රිංගා ගියේ අද පමනක් නොවේ, එදාත් එසේ ම ය. තමා වෙනුවෙන් ආදරය පුද කළ අහල්යාව බේරාගැනීමට තමාගේ එක වචනයක් හෝ වියදම් නො කිරීමට තරම් ශක්‍රයා සැලකිලිමත් වූ අයුරු ද මෙහිදී සිහිකළ මනා ය. 


'සකා ගේ අකා වැඩ' යන්නේ අර්ථය නම් ශක්‍රයාගේ කැත වැඩ යන්න ය. 'අකා' නම් අකටයුතු, අකා මකා දැමිය යුතු දේ යන්න ය. ශක්‍රයා කළ කැත වැඩ ඕනෑ තරම් ජාතකට්ඨකතාවේ සහ ධම්මපදට්ඨකථාවේ දී අපට හමුවෙයි. ගුත්තිල නම් මහළු ආචාර්යවරයාට ගුලි තුනක් ලබාදී දීප්තිමත් වෘත්තීය අනාගතයක් තිබූ මූසිල නම් උත්සාහවන්ත තරුණයාගේ අනාගතය අකා මකා දැමීම ඉන් එකක් පමණි. ජාතකට්ඨකතාව,ධම්මපදට්ඨකථාව, විමානවත්ථුව, පේතවත්ථුව ආදී අටුවා රචනා කළ අටුවාචාරීහු සිය වැඩවසම් බමුණු දෘෂ්ටිවාද ආරක්ෂා කර ගැනීමට නිතර පාවිච්චි කළේ ශක්‍රයා නම් ඔවුන් ම නිර්මාණය කළ චරිතය යි. අවසන මහළු ආචාර්‍ය්‍යයන්ගේ කොස් ඇට බෑමට ගොස් උණු අළු පල්ලේ හොවා අත පුළුස්සා ගත්තේ අසරණ ශක්‍රයා ය. පන්සිය පනස් ජාතක පොතේ එන චුල්ල ධනුද්දර ජාතකයේ දී ශක්‍රයා කරන කැත වැඩක් සමග මීළඟ ලිපියෙන් හමුවෙමු.


… රවි කළුපහණ …


(ලිපිය සංවාදයට විවෘතයි.

මගේ ලිවීමේ ගාස්තුව ඔබේ අදහස ය)

Comments

Popular posts from this blog

කිමද උන් මා දෙස නො ලැග්ගේ

විශ්වවිද්‍යාලයෙන් පැන්නූ "විශ්වවිද්‍යාලය"

ආලෝක වර්ෂ ගණනාවක් ඉදිරියෙන් සිටි සයිමන් නවත්තේගම