මා විශ්මයට පත් කළ ගී - 5 /II
මා විශ්මයට පත්කළ ගී - 5 / II
-----------------------------------------------------
නොවැලපෙමි, ඔබ යන්න
වැලප ඇති පල කිම්ද?
ජීවිතේ වැරදුනේ මෙතැන විතරක් නොවේ
සූරලා ගෙන යන්න මා හදේ පිපුණු මල්
මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද? .....
මේ කවි ඛණ්ඩය මා උපුටා ගත්තේ පරාක්‍රම කොඩිතුවක්කුගේ 'පොඩි මල්ලියෙ'(1972) කාව්‍ය සංග්රහයෙනි. මෙය ද 71 අරගලයට පසුබිම් වූ සමාජ දේශපාලනික වටපිටාව තුළ තරුණ මානසිකත්වය නිරූපණය කරන කවියකි. කුමාරදාස සපුතන්ත්‍රී, ගේය පද රචනය කළ 'එපා හිරු පායන්න - අදින් පසු මගෙ ලොවට' ගීතය ඇසෙන සෑම විටම මට පරාක්රමගේ මේ කවිය ද සිහියට නැඟේ. මෙම කවිය මෙන් ම එම ගේය පද රචනය ද එකම යුගයක ලියවී ඇති බව පෙනේ. ඉන් කුමක් වඩා ප්‍රථමයෙන් ලියැවුනේ දැයි මා නොදනිතත් මෙම නිර්මාණ දෙක ම එකිනෙකින් අන්තර් පෝෂණය වූ බවක් දකිමි. ඇතැම්විට ඒ යුගයේ තිබූ සමාජ ආර්ථික වටපිටාව තුළ, සමාන අදහස් තිබූ තරුණයන් දෙදෙනකු, සමාන අත්විඳීම්වලට මුහුණ දීමෙන් බිහිවූ නිර්මාණ දෙකක් නිසා එසේ වන්නට ඇත.
සපුතන්ත්‍රී ඔහුගේ විප්පයෝගයේ දෝමනස්සය ප්‍රතිනිර්මාණය කරනුයේ ඔහු වෙනුවෙන් ඉර - හඳ - තාරකා ඇතුළු මුළුමහත් පරිසරයටම වැලපෙන්නට කීමෙනි. එයින් ම ඔහුගේ හදවතේ තිබූ අඳුර කෙතරම් ගැඹුරු දැයි අපට දැනේ.
සැඳෑ තරු නොදිලෙන්න
සරා සඳ නොනගින්න
වෙලී යුගඳුර සතර අනු දිසා ගිලගන්න
ගලා යන නදී දොල මිදී නැවතී ඉන්න
පරාක්‍රම ද සිය කවියේ දී තම විප්පයෝගයේ ගොරබිරම් කම ප්‍රතිනිර්මාණය කරන්නේ එය පරිසරයට ආරෝපණය කරමිනි.
ඔබ යන්න මධුරතර සප්ත ස්වරය ම අරන්
ඔබේ රථ මැදිරියට මගේ ඉර හද අරන්
ඔබ යන්න මහද තෙත් වැහි වළාකුළු අරන්
කමක් නෑ ඔබ යන්න මගේ ආයුෂ අරන්
නමුත් සපූගේ ගේය පද රචනයට වඩා පරාක්රමගේ කවියේ යම් ආවේගයක් මෙන්ම අධිෂ්ඨානයක් ද ඇති බව පෙනේ. ජීවිතයේ ජය පරාජය සම සිතින් ඉවසනවා වෙනවට භෞතික ජයග්‍රහණ ම - උපභෝග පරිභෝග වස්තු ම - හඹා යන, සාර්ථකත්වයේ විජිගීෂාවෙන් පෙළෙන, උන්නතිකාමී සමාජය පිළිබඳ යම් ප්රතිවිරෝධයක් ද පරාක්රමගේ කවියෙන් ධ්වනිත වෙයි.
දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්
ඔබ නැතත් - මම එතන පාට හත ගනින්නම්
ඔබ යන්න හැරී නොබලා ඔබේ කිරුළ ගෙන
පරාජිත කඳුළකට ඇහේ ඉඩ තියා නැත..........
ගෙවදින්න ඇති නිසා හෙට අලුත් විමානෙට
පෙම් - ගී අලංකාර වීසිකොට යනු මැනවි...........
වියෝගයේ ආවේගය ප්‍රකාශ කිරීමට පරාක්‍රම භාවිත කරන බස ද ආවේගශීලී ය. එය කණ ළඟින් යන ඊතලයක් බඳු ය. නමුත් සපුතන්ත්රීගේ ගේය පද වඩා ගීතවත් ය; මටසිලිටි ය; සුමට සුඛනම්‍ය ය; සංගීතය හා හොඳින් මුහුවීමේ ගේය ගෝචර ගුණයෙන් පොහොසත් ය.
'එපා හිරු පායන්න' ගීතයේ ඇති විශ්මය නම් මියැසිපති ආචාර්ය වික්ටර් රත්නායකයන් ඊට නිර්මාණයකරන විශ්මයාවහ සංගීත සංරචනයයි. විරහව නම් මේ යැයි දැනවීමට ඊටත් වඩා හොඳ සංගීතයක් ඇත් දැයි මට නො තේරේ. පෙරදිග සංගීතයෙන් විරහව දැනවීමට වඩාත් ම හොඳ ස්වර සංගතීන් මෙන්ම අපරදිග සංගීතයන් විරහව දැනවීමට වඩාත් ම හොඳ ස්වර සංවාදයන් සොයනු වස් සංගීතයේ රස පොළොව කැණ, එහි ගැඹුරේ ඇති අගනා මාණික්‍ය ගවේෂණය කර, සාදා පාදා ගොඩ ගෙන, ඒවා තව තවත් දහස්වර පිරිපහදු කර, රන් රස සේ එකට සුසංයෝගකර වික්ටර් රත්නායකයන් නිර්මාණය කරන සංගීතමය වියමන විරහව නම් මේ යැයි කියා අපට කියා දෙයි. ගීතයේ පූර්ව සහ අන්තර් සංගීත ඛණ්ඩවල දී හමුවන බටනලා වාදනය විරහවේ ඇති හුදකලාව, පාලුව, මූසලකම, ඉච්ඡාභංගත්වය අපට දනවන්නේ කිසිදාක වචනයෙන් කිව නොහැකි තරම් දේ කියමිනි; හදවත පත්ලේ ඇති විරහ තත් ප්‍රකම්පනය කරමිනි.
සංගීතය ආරම්භ වනුයේ භාෂාව අවසන්වන තැනිණි. වචනවලින් කිව නොහැකි බොහෝ දේ සංගීතය අවාචිකව ම අපට කියා දෙයි. එවන් වූ සංගීතය සකල ශරීරය ම විප්රලම්භ ශෘංගාර රසයෙන් සංමෝහනයකර, හදවතේ පතුලට ම විරහවේ සංවේදනා රැගෙන ගොස් එය දැදුරු කරන විට දැනෙන රසය කෙබඳුදැයි මේ ගීතය අපට කියා දෙයි. වික්ටර් රත්නායකයන්ගේ හර්දයාංගම ගායන ලීලය සම් - මස් - නහර - ඇට - ඇටමිදුළු විනිවිද ගොස් මුළු මහත් ආධ්‍යාත්මය ම විරහවෙන් ආලෝලනය කරයි. ගීතය සඳහා වික්ටර් රත්නායකයන් භාවිත කළ මධ්‍ය-විලම්භ ලය මෙන් ම, මත් කැටි දෙකෙන් තුනෙන් බිඳවැටෙමින් යළි යළි ගොඩ නැගෙන රිද්මය ද විරහවේ ගැඹුරු සංවේදනා අපට දනවන්නේ සංගීතය නම් විශ්ව භාෂාව සතු මහා අදෘශ්‍යමාන ශක්තිය යළි යළිත් පසක් කරමිනි.
... රවි කළුපහණ ...
(ලිපිය නිවැරදිව තේරුම් ගැනීමට එහි මුල් කොටස ද කියවන්න.
ලිපිය සංවාදයට විවෘතයි.
මගේ ලිවීමේ ගාස්තුව ඔබේ අදහස් ය.
චිත්‍රය - අන්තර්ජාලයෙන් උපුටාගත් ජෝර්ජ් කිට් ශූරීන්ගේ නිර්මාණයකි)
මුල් ලිපියට සබැදිය.
https://m.facebook.com/story.php?story_fbid=839088770904881&id=100044112976380&mibextid=Nif5oz
Comments
Post a Comment