තිසා වැව උස්සා සීගිරිය ෆ්ලැට් කිරීම

 තිසාවැව උස්සා සීගිරිය ෆ්ලැට් කිරීම

--------------------------------------------------------------

ඒ 1999 වසර යි. එවකට මම සරසවියේ පළමු වසර සිසුවෙක් මි. එකල මගේ දින චර්යාව අනුව ඉරිදා දිනය ගතවූයේ මහනුවර මුල්ගම්පළ ඇම්.ජී.පී කලායතනයේ ය. කලායතනයේ කටයුතු අවසන් වී සවස හතරට පහට පමණ නැවත පොල්ගොල්ලේ පිහිටි ශිෂ්‍ය නේවාසිකාගාරයට එන අතර සිනමාපටයක්, නාට්‍යයක්, සංගීත ප්‍රසංගයක්, ප්‍රසිද්ධ සමිමන්ත්‍රණයක් වැනි දෙයක් නැරඹීමට මම පුරුදු වී සිටියෙමි. තරමක් හෝ සාමකාමී සමයක් වූ එකල ඉරිදා දිනයේ හැන්දෑවේ එවන් විශේෂ කිසිවක් මහනුවර නගරයේ නොවූයේ ඉතා කලාතුරකිනි. 


එදින ද හවස පහට පමණ කලායතනය අවසන් වී මම පේරාදෙණිය-මහනුවර බසයකින් මුල්ගම්පළ සිට මහනුවර නගරයට පැමිණියෙමි. මහනුවර නගරයේ බස් නැවතුම අසලින් බසයෙන් බැස විපරම් කර බැලූව ද එදින නැරඹීමට තරම් විශේෂ කිසිවක් නොවී ය. ඒ වන විට චිත්‍රපට ශාලාවල තිබූ චිත්‍රපට ද නරඹා අවසන් කර තිබුණි. අපේක්ෂාභංගත්වයට පත්වූ මම නැවත පොල්ගොල්ලේ පිහිටි ශිෂ්‍ය නේවාසිකාගාරයට යාමට මහනුවර-වත්තේගම බසයකට ගොඩ වී මි. බසය කටුගස්තොට පාලම සමීපයට එන විට ම මා අහම්බෙන් දුටුවේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලීය ශාලාවේ පණ්ඩිත් අමරදේවයන්ගේ ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් පැවැත්වෙන බවට වූ විශාල කටවුටය කි. දිනය හොඳින් බැලීමි. එය එදින සවස 06:30 ට පැවැත් වෙන්නකි. මම ක්ෂණිකව අතේ ඇති ඔරලෝසුව දෙස බැලීමි. වේලාව සවස 6.30 යි. කටුගස්තොට පාලම අවසන් වූ සැනින් මා බසයෙන් බැස ගත්තේ, ප්‍රසංගයේ ටිකට් පතක් මගේ වාසනාවට හෝ ඉතිරි වී තිබිය හැකිය යන බලාපොරොත්තුවෙනි. මම කඩිමුඩියේ ශාලාවේ දොරටුව වෙත දිව ගියෙමි. අමන්දානන්දය කි, ශාලාවේ දොරටුව අසල ටිකට් පත් අලෙවි කරන්නා ළඟ ටිකට්පත් තුනක් ම ඉතිරි වී තිබේ. මම ඉන් එකක් මිලදී ගතිමි. ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ගොස් ය. මට හිමිවූයේ ශාලාවේ අවසන් පේළියේ කෙළවරක තිබූ ආසනය කි. ටිකට් පත දෙකට නවා සුරක්ෂිත ලෙස කමිස සාක්කුව තුළ රුවා ගතිමි. මගේ මතකය අනුව එය අමරදේවයන් ගේ "ශ්‍රවණ රමණි" ඒක පුද්ගල ප්‍රසංගය යි. 


දැන් වේලාව පස්වරු හතට ආසන්න ය. වේදිකාව මත වාද්‍යවෘන්දය සූදානමින් සිටී. මොහොතකින් ශාලාව ගිගුම් දෙවන තරම් වූ අත් පොළසන් නාද මධ්‍යයේ පණ්ඩිත් අමරදේවයෝ වේදිකාවට සම්ප්‍රාප්ත වූ හ. ප්‍රසංගයේ සමාරම්භක ගීතය සරස්වතී අභිනන්දන ගීතය යි. "කම්පිත කංචන මාලා කූජන" ගීතය වාද්‍යවaන්දයේ මටසිළුටු සංගීතය මධ්‍යයේ අමරදේවයන්ගේ රන් ස්වරයෙන් ගැයෙන විට එතෙක් මීමැසි පොදියක් මෙන් සිටි පෙක්ෂකාගාරය දැහැන්ගත වූවාක් බඳු විය. ගීතය අවසානයේ පේක්ෂකාගාරයේ ප්‍රහර්ෂය නැවතත් කන් බිහිරි කරවන අත්පොළසන් නාදයක් බවට පත් විය. අනතුරුව ශාලාව ඉදිකටුවක් බිම වැටුණ ද ඇසිය හැකි තරම් දැඩි නිශ්ශබ්දතාවයක ගිලී ගියේ අමරදේවයන්ට ඊළඟ ගීතය ආරම්භ කිරීමට ආරාධනය කරන්නාක් මෙනි. 


ශාලාවේ අවසන් පේළියේ මා අසල සිටියේ තරුණයන් පිරිස කි. මැදිවියේ සිටි පිරිමින් ද ඒ අතර විය. ඔවුන්ගෙන් වහනය වූ දහඩිය සුවද මුසු වූ පිළීගඳ ඔවුන් කටුගස්තොට මාළු වෙළෙඳ පොලේ වෙළෙන්දන් යැයි හඳුනා ගැනීමට ප්‍රමාණවත් විය. ඔවුන් හැඳ සිටි ඇඳුම් ද මගේ අනුමානය තහවුරු කළේ ය. ඔවුහු මාළු වෙළෙන්දෝ වුවද හොඳ රසිකයෝ වූ හ; අමරදේව සහෘදයෝ වූ හ. මට සිහිපත් වූයේ රත්න ශ්‍රී විජේසිංහයන් වික්ටර් රත්නායකයන්ට ලියූ ගේය පද රචනය කි. 


"මූදු ගියා ලෙලි තැළුවා

පිළී ගඳින් බෑ මිදෙන්න

ඒත් අපේ මල් සුවඳයි

එපා බාර නොගෙන ඉන්න

දළදා හාමුදුරුවනේ

පාත මාලයට වඩින්න....."


ඔවුන්ගේ මල් පමණක් නොව රසිකත්වය ද සුවඳ ය. ඇතැම්විට ඉදිරිපෙළ ආසනවල උන් ප්‍රබුද්ධ රසික පර්ෂදයේ සිටි රසිකයන් තුල පවා නොමැති වූ ගැඹුරු රසිකත්වයක් ඔවුන් තුල වී ය. 


ප්‍රසංගයේ විවේකයෙන් පසු මාගේ අසල්වාසි ප්‍රේක්ෂකයන් වෙතින් පෙර කී මාළුපිළී සුවදට අමතරව තවත් සැර සුවඳක් ද වහනය වන්නට විය. ඔවුන්ගේ රසිකත්වය ද පෙරට වඩා වර්ධනය වී තිබිණි. ප්‍රසංගයේ දෙවන භාගයේ දී පණ්ඩිත් අමරදේවයෝ ද පෙරටත් වඩා සංගීතයෙන් සමාධිගතව සිටියා සේ ය. ප්‍රේක්ෂකාගාරයේ ඉමහත් ප්‍රතිචාර හා ප්‍රවීණ වාද්‍යවෘන්දය සපයන මටසිළිටි සංගීතමය පසුබිම හමුවේ වඩා සංවේදී වූ එතුමෝ වඩ වඩාත් රසාවේශයට පත් වූ හ. රසාවේෂයට පත් වූ විට අමරදේවයන් ගී ගයන්නේ සිය ස්වරාලයෙන් හා මුඛයෙන් පමණක් නොවේ. මැනවින් සුසර කළ වෙණ තතක් මඳ සුළගකින් වුව ද කම්පනය වන්නාසේ රසාවේශයට පත් වූ විට අමරදේවයන්ගේ සකල ආධ්‍යාත්මය ම සංගීතායමානීව කම්පනය වීමට පටන් ගනී. එතුමා ගේ එකී ආධ්‍යාත්මික මියැසි ප්‍රකාශනය අපට දර්ශනය වනුයේ ගීතානුකූලව කරන අංග චලනයන් හා විවිධ අභිනයන් සේ ය. 


විවේකයෙන් පසුව ප්‍රසංගය ආරම්භ වූයේ "සසර වසනතුරු" ගීතයෙනි. මහා සෑය, තිසාවැව, ජයසිරිමහ බෝධිය, සීගිරිය ජාතික වස්තු වන්නා සේ ම මෙම ගීතය ද අපේ ජාතික වස්තුව කි. වෙනස නම් පෙර කී ඒවා ස්පර්ශනීය ජාතික වස්තු වීමත් මෙම ගීතය අස්පර්ශනීය ජාතික වස්තුවක් වීමත් පමණි. ගීතයේ අන්තරා කොටස වන "තිසා වැවයි සීගිරියයි" යන පද ඛණ්ඩය අමරදේවයන් ගයන අයුරු බලා සිටි මගේ අසල්වාසි පේක්ෂකයෙක් රහසින් මෙන් සිය සගයන්ට කියා සිටියේ අපූරු කතාව කි. 


" ඔන්න මාස්ටර්

  තිසාවැව උස්සලා 

  සීගිරිය ෆ්ලැට් කරා මචං...."


ඇත්තෙන්ම 'තිසාවැවයි' ගයන විට අමරදේවයන්ගේ සුරත ඉහළට ගිය බවත්, 'සීගිරියයි' ගයන විට අමරදේවයන්ගේ සුරත පහලට ගොස් පොළොවට සමාන්තරව දෙපසට සෙළ වූ බවත් සැබවි. සැබැවින් ම එය තිසාවැව ඉස්සීමක් ද? සීගිරිය ෆ්ලැට් කිරීමක් ද? ඒ පිළිබඳව අපි මීලඟ ලිපිවලින් සාකච්ඡා කරමු.


#############################


තිසාවැව උස්සා සීගිරිය ෆ්ලැට් කිරීම - 2

-------------------------------------------------------------------


මගේ පියා වෘත්තියෙන් සංගීත ගුරුවරයෙකි. පසුව අධ්‍යාපන පරිපාලන සේවයේ විවිධ වගකීම් දැරුව ද ඔහු වඩාත් ප්‍රිය කළේ සංගීත ගුරුවරයාගේ භූමිකාවට ය. ගුරු වෘත්තියට පිවිසීමට පෙර ඔහු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාද්‍ය වෘන්දයේ වයලීන වාදකයකු ලෙස වසර කිහිපයක් සේවය කර තිබුණ ද ඒ මා ඉපදෙන්නට පෙර බැවින් එම යුගය පිළිබඳව මා දන්නේ ඔහුගෙන් අසා දැනගත් තොරතුරු පමණි. ගුරුසේවයට පිවිසීමෙන් පසුව ද පියා ගුවන්විදුලියේ සරල ගී ගායන ශිල්පියෙක් ලෙස කටයුතු කළ නිසා ගුවන්විදුලිය සමග ඔහුගේ සම්බන්ධය දිගටම පැවතුණි. අනූව දශකයේ අග භාගයේ දී ශ්‍රී ලංකා ගුවන්විදුලිය ද වාණිජ FM චැනලයන් අනුකරණය කරමින් 'නවීකරණය' වී සරල ගී වැඩසටහන් නවතා දමන තෙක් ගුවන්විදුලිය සමඟ ඔහුගේ පෙකෙණිවැල නොසිදී පැවතුණි. 


මගේ පියාගේ බහුතරයක් මිතුරෝ ගුවන්විදුලිය හා සම්බන්ධ කලා ශිල්පීහූ වූ හ. ඔවුන් අතරින් බොහෝ අය ගුවන්විදුලි වාද්‍ය ශිල්පීන් ය. මෙම මිතුරන් සමග පියා අප නිවසේ ඉඳහිට පැවැත්වූ ප්‍රියසාද සාහිත්‍ය සංගීත රස උතුරා ගිය රසෝඝයන් විය. එකල කුඩා දරුවෙක් වූ මා එවන් අවස්ථාවලින් ලද පෝෂණය මගේ ජීවිතයට ඉමහත් ආලෝකයක් ම විය. එවන් අවස්ථාවල දී අමරදේව, වික්ටර් රත්නායක ආදීන් ගේ ගීත ගයමින්, එම නිර්මාණවල පසුබිම් කතා කියමින්, නිර්මාණ පටිගත කිරීමට ගොස් සිදු වූ රසවත් සිද්ධි සිහිපත් කරමින් ඔවුන් ගෙවා දැමූ රසවත් සන්ධ්‍යාවන් බොහෝවිට අවසන් වූයේ මැදියම් රැය ද ඉක්මගොස් හෝරා දෙක තුනක් ගතවූ පසුව ය. බොහෝ විට මගේ පියා මෙවන් සාද සිකුරාදා දිනවල රාත්‍රීයේ පැවැත්වූ හෙයින් ඒවා අවසන් වනතුරු ම සක්‍රීය ශ්‍රාවකයෙක් ලෙස සහභාගි වීමට මා හට අවස්ථාව උදාවිය. සාහිත්‍ය සංගීත ඈ සෞන්දර්ය විෂයයන් පිළිබඳව නොසන්සිදෙන ලාලසාවක් මගේ ඇතුලාන්තයේ දල්වාලීමට මෙවන් අවස්ථාවන් දැඩි ලෙස හේතු වූ බව දැන් මට සිතේ.


එක් දිනක ඔවුන්ගේ සාදයේ මාතෘකාව පණ්ඩිත් අමරදේවයන්ගේ "සසර වසන තුරු" ගීතය යි. ගුවන්විදුලියේ "විජය ගීත" වැඩසටහන සඳහා 1975 දී පටිගත කළ ගීතයකි මෙය. මෙහි ගේය පද රචකයා ප්‍රවීණ ගේය පද රචක ඩෝල්ටන් අල්විස් ශූරීහු ය. මෙය දේශාභිමානී ගීතය කි. පන්ඩිත් අමරදේවයන් ගායනා කළ තවත් දේශාභිමානී ගීත දෙකක් වූ "පෙම්බර මා පුතනුවනේ" හා "නිවහල් සිතුවිලි" යන ගීතවල ද ගේය පද රචනා කළෝ ඩෝල්ටන් අල්විස් ශූරිහු වෙති. හැට හැත්තෑව දශකවල දී ගුවන්විදුලියේ නිවේදකයෙක් සහ වැඩසටහන් නිෂ්පාදකයෙක් ලෙස කටයුතු කළ ඩෝල්ටන් නිහඬ, නිරහංකාර, අවිහිංසක මනුස්සයෙකි. ඔහු දොඩමළු වූයේ පියවි තත්වය ඉක්මවා ගිය විට පමණ ය. ගුවන්විදුලිය වෙනුවෙන් "විජය ගීත" වැඩසටහන නිෂ්පාදනය කළේ ඩෝල්ටන් අල්විස් ය. 


'මතට තිත' නොතිබූ එකල ගුවන් විදුලිය පිටුපස නිදහස් චතුරස්‍රයේ තිබූ විශාල වනස්පතීහු ගුවන්විදුලි ශිල්පීන්ගේ සැදෑ සාදයන්ට සෙවණ දුන් ස්වභාවික නිවස්නයන් වූ හ. දැන් නවීකරණය කර ඇති නිදහස් චතුරස්‍රයේ කොන්ක්‍රීට් කැට ඇල්ලූ ඇවිදින මං තීරුවල ඇවිද යන විට, පෙර පියාගේ සාදවල කතා අතර මැවුන හැත්තෑව දශකයේ නිදහස් චතුරස්‍රයේ පෞරාණික ස්වරූපය සිතුවම් පටයක් ලෙස මා මනසේ මැවේ. නිදහස් චතුරස්‍රයේ කොන්ක්‍රීට් බංකුවක් මත හිඳ වෛවර්ණ විදුලි ආලෝකයෙන් ප්‍රභාවත් වූ වතුර මල් පේළිය දෙස බලා සිටිනා මා කිසියම් නින්ද්‍රාවකින් මෙන් හැත්තෑව දශකයට පිවිසියා සේ ය.


ඈතින් ඇති විසල් මාර ගසක් යට දහ දොළොස් දෙනෙකුගෙන් යුත් පිරිස කි. අඳුරු ගස් සෙවණේ ගස් මුල් මත වාඩි වී සිටි ඔවුහු හෙමි හෙමින් යම් යම් දේ මුමුණයි. කිසියම් කවරයකට අත දමා වඩේ වැනි දෙයක් වරින් වර ගෙන සපන ඔවුහු අතරින් කුඩා රතු පැහැති එළි කිහිපයක් ද දිස්වේ. මෙම එළි වරින්වර දීප්තිමත් වන අතර ටික වේලාවකින් ආලෝකය අඩු වී ගොස් නැවත එක්වර දීප්තිමත්ව දැල් වීමට පටන් ගනී. තරමක් ළඟට ගොස් බැලූ විට එම රතු පැහැති එළිවලින් කුඩා දුම් වළලු පිටවන අයුරු ද දැකගත හැකි විය. එවන් රතු පැහැති කුඩා ආලෝකයක් අතැතිව හිඳිමින් වරින් වර දුම්වළලු පිටකරමින් පිරිස මධ්‍යයේ සිට පහත් හඬින් ද ඉඳහිට උස් හඬින් ද කතා කරන පුද්ගලයෙකි. ඒ අපේ කථා නායකයා ය. ඔහු වටා සිටින පිරිස ඔහුගේ කතාවට සවන් දෙන්නේ කිසිදා නොඇසූ කතාවක් ඔහු කියන්නා සේ ය. ඔහුගේ කතාවට යම් හෝ බාධාවක් වූයේ වරින් වර නැගෙන වීදුරු බෝතල් කෝප්ප ගැටෙන හඬ පමණි. මෙම කලාකරුවන් පිරිසේ මධු සාදය ටිකෙන් ටික තුනී වූයේ රාත්‍රි නමයට පමණ එකා දෙන්නා පිටව යාමට පටන් ගත් හෙයිනි. වරින් වර මතු වූ වීදුරු ගැටෙන හඬ ද වියැකී ගොස් ය. අවසානයේ අප කතානායකයා හා මිතුරෙක් පමණක් සුවිසල් මාර ගස පාමුල තනි වූ හ. මිතුරා ද සමඟ 154 බස් පාරට වැනි වැනි ඇවිද ගිය ඔහු බම්බලපිටිය දෙසින් පැමිණි රතු පාට ලංගම බසයක නැගී යන අයුරු මා බලා සිටියේ කිසියම් කාංසාවකිනි. ඒ ඔවුන් මගේ දර්ශන පථයෙන් ඉවත්ව යාම පිළිබඳව හටගත් කාංසාවකැයි මට සිතේ. 


මම මගේ මනෝකායෙන් කතානායකයා පසුපස ගියෙමි. ඔහු රෑ දහයට පමණ සිය නිවසට යන විට ගෙදර සාලයේ මේසය මත කෑම බෙදා පන් වට්ටියකින් වසා තිබිණි. නිවැසියන් නින්දේ වන්නට ඇත. පන් වට්ටිය හැර බලා කෑම ටිකක් බෙදාගෙන කා අත සෝදාගෙන වතුර වීදුරුවක් ද පුරවා බිව් ඔහු කාමරයකට ගොස් ඇඳුම් අහවර කර සරමක් ඇඳගෙන නැවත ගෙදර ඉස්තෝප්පුවට පැමිණියේ එහි තිබූ සුපුරුදු හාන්සි පුටුව මත මදක් ඇලවී විවේක ගැනීමට විය යුතු ය. ඒ වන විට නිවසේ සාලයේ තිබූ විශාල ගුවන්විදුලි යන්ත්‍රයේ පිරිත් සජ්ඣායනය වෙමින් පැවතුණි. තුන් සූත්‍රය අවසන් වී ය. ධම්මචක්කප්පවත්වන සූත්‍රය ආරම්භ වී ය. 


අතප්පානං දේවානං සද්දං සුත්වා

සුදස්සී දේවා සද්දමනුස්සාවේසුං

ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ

අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං...........


ගුවන්විදුලියේ පිරිත් වාදනය කර නින්දට යාම ඔහුගේ මවගේ සිරිත ය. පිරිත් ශ්‍රවනය කරමින් ම ඔහු නිදි ලොවට ප්‍රවිෂ්ට විය. දැන් ගැඹුරු නින්දේ ය. නැවත නොගැඹුරු අඩ නින්දේ ය. රාත්‍රී නිශ්ශබ්ද අවකාශය පුරා ම ගුවන්විදුලියෙන් විකාශනය වන පිරිත් දේශනාව ය. දැන් අප කතානායකයා සිහිනයක් දකී. රුවන්වැලිසෑය, තිසා වැව, සීගිරිය, ජයසිරි මහා බෝධිය ඔහුගේ සිහින සිතුවම් පට අතරේ ය. ඔහු සිහිනයෙන් එක්වර ම අවදි වෙයි. වෙළාව පාන්දර හතර පහ පමණ වන්නට ඇත. ඈතින් කුකුලෙකු හඬලන හඬ ද ඇසේ. වහාම කොළයක් හා පෑනක් සොයාගන්නා කතානායකයා හාන්සි පුටුවේ ඇන්ද මත තබාගෙන මේ වචන කිහිපය ලියයි.


සසර වසන තුරු

නිවන් දකින තුරු

පින් කෙත හෙළ රන් දෙරණේ

යළි උපදින්නට

හේතු වාසනා 


රත්නමාලි සෑ කිරණයි

මහ බෝ සෙවණයි

තිසා වැවයි සීගිරියයි

අපේ උරුමයි


#############################


තිසාවැව උස්සා සීගිරිය ෆ්ලැට් කිරීම - 3 

------------------------------------------------------------------


මගේ මාසික වැඩසටහනේ දින කිහිපයක්ම වෙන් වන්නේ ආතති කළමනාකරණ වැඩසටහන් පැවැත්වීමට ය. මෙම වැඩසටහන් රජයේ ආයතනවල සේවකයින් සඳහා මෙන්ම වෙනත් ආයතනවල සේවකයින් සඳහා ද පැවැත්වෙයි. කොරෝනා වසංගතය නිසා සංචාරණය සීමාකර තිබූ කාල සීමාවේ දී ද මාර්ගගත ක්‍රමයට මෙම වැඩසටහන පවත්වන ලෙස බොහෝ දෙනා මගෙන් ඉල්ලා සිටිය ද ප්‍රායෝගික ක්‍රියාකාරකම් මත පදනම්ව පවත්වන මෙම ආතති කළමනාකරණ වැඩසටහන මාර්ගගත ආකෘතිය යටතේ පැවැත්විය හැකි ආකාරයක් සිතා ගත නොහැකි වූ නිසා මම එම වැඩසටහන් බාර නොගත්තෙමි. මගේ ආතති කළමනාකරණ වැඩසටහන බොහෝ දුරට සෞන්දර්ය රසාස්වාදනය මත පදනම් වූවකි. සෞන්දර්ය කලා අතර සාමාන්‍ය පොදු ජනතාවට වඩාත් සමීප වූ ගීතය පිළිබඳ රසවින්දනයන් ට මෙම වැඩසටහනේ දී වැඩි අවකාශයක් වෙන් වෙයි. 


එවැනි වැඩසටහන්වල ගීතයේ අන්තර්ගතය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී එයට ප්‍රවේශයක් වශයෙන් මා නිතර අසන පැනයක් නම් වචන විසි හතරකින් ගී පදමාලාවක් හෙවත් ගේය පද රචනයක් රචනා කළ හැකි ද යන්න යි. එවිට බොහෝ දෙනා මගේ අනෙකුත් පැනයන්වල දී සේම තුෂ්නිම්භූතව ම සිටිති. ඉඳහිට කෙනකු පිළිතුරු දුන්න ද ඔවුන් පවසනුයේ ගේය පද රචනයක ඊට වඩා වැඩි වචන ප්‍රමාණයක් තිබෙන බව යි. නමුත් සිංහල ගීතාවලියේ එන අතිශය සුප්‍රකට ගීතයක ගේය පද මාලාවේ තිබෙනුයේ වචන විසි හතරක් පමණි. ඔබට ද විශ්වාස නැතිනම් ගැන බලන්න.


"සසර වසන තුරු

නිවන් දකින තුරු

පින්කෙත හෙළ රන් දෙරණේ

යළි උපදින්නට

හේතු වාසනා වේවා


රත්නමාලි සෑ කිරණයි

මහබෝ සෙවණයි

තිසාවැවයි සීගිරියයි

අපේ උරුමයයි"


මෙම ගේය පද රචනයේ ඇත්තේ වචන විසි හතර කි. එයින් ද ගීතයේ අන්තරා කොටසේ ( දෙවන කොටසේ ) ඇති වචනවලින් වචන කිහිපයක් ම වෙන් වී ඇත්තේ අපගේ සංස්කෘතික මර්මස්ථාන කිහිපයක ස්ථාන නාම සඳහන් කිරීම සඳහා ය. ඒ රත්නමාලි සෑය, මහාබෝ සෙවන, තිසාවැව, සීගිරිය ආදිය යි. මෙම ස්ථාන නාම කිහිපය ද අත්හළ හොත් ගේය පද රචනයේ ඇත්තේ වචන දාහතක් පමණි. නමුත් ඇතමෙකු මෙම ගීතයේ ස්ථායි කොටසේ ( පළමුවන කොටසේ) අග "හේතු වාසනා වේවා - හේතු වාසනා" ලෙස තවත් වචන දෙකක් ඇති බව පැවසිය හැකි ය. එහෙත් එම නැවත යෙදෙන "හේතු වාසනා" යන කොටස ගේය පද රචනයේ වූවක් නොව, එය සංගීතවත් කිරීමේ දී පණ්ඩිත් අමරදේවයන් යොදාගත් ගීතාකෘතිය තුළ වූ පුනරුත්තිය කි. 


මෙම ගීතයේ ගේය පද රචක ඩෝල්ටන් අල්විස් ශූරීන් මෙම වචන විසි හතර ඔහුගේ කවි පොතක පළ කළේ නම් එම කවි පොතේ පිටු අතරට ම වී එය හිඳිනු ඇත. මන්ද කවියක් ලෙස දිගු ගමනක් යාමට තරම් ගැඹුරු ධ්වනියක් හෝ වෙනත් සුවිශේෂත්වයක් මෙම වචන විසි හතර අතර නොමැති හෙයිනි. නමුත් මෙම වචන විසි හතර දනන් තුඩ තුඩ රැව් පිළිරැව් දෙන මන්ත්‍රයක් බවට පත්වූයේ පණ්ඩිත් අමරදේවයන් එය ගීතයක් බවට පත් කළ හෙයිනි; අවාචික වූ සංගීතයෙන් මෙම අජීවී පදමාලාවට ජීවය කැවූ හෙයිනි. අඩසියවසකට ආසන්න කාලයක් අපත් සමග හුස්ම ගනිමින් මෙම ගීතය අප අතර ජීවත් වනුයේ ඊට පණ්ඩිත් අමරදේවයන් ලබාදුන් සංගීතමය ජීවාත්මය නිසා ම ය. 


ගේය පදමාලාව වාචික ය. එය භාෂාව මුල් කරගත්ත කි. නාද මාලාව හෙවත් තනුව අවාචික ය. එය සංගීතය මුල් කරගත්ත කි. වචනයෙන් පැවසිය හැකි දේ සීමා සහිත ය. අති සූක්ෂම වූ මානව හැඟීම් ප්‍රකාශ කිරීමට තරම් වචන සූක්ෂම නැත. භාෂාවේ ප්‍රකාශනය වචනවලට ලබා දී ඇති අර්ථ මත සීමාවේ. නමුත් සංගීතයේ ස්වර සංගතීන්ට නිශ්චිතාර්ථ නැත. එනිසා සංගීතමය ප්‍රකාශනයට සීමාවක් නැත. එය අසීමිත ය. සංගීතය මානව හැඟීම් හා භාවයන් අති සුක්ෂම හා ගැඹුරු අයුරින් ප්‍රකාශ කිරීමට ශක්‍ය වූ මාධ්‍යය කි. "භාෂාව අවසන්වන තැනින් සංගීතය ආරම්භ වන්නේ යැයි" බටහිර පඬුවන් පැවසුවේ එහෙයිනි. එහි අර්ථය නම් භාෂාව සතු සන්නිවේදන හැකියාව යම් තැනකින් කෙළවර වන්නේ ද එතැනින් ඔබ්බට මෙන්ම එතැන් සිට ඉතා ඈතට එය සන්නිවේදනය කිරීමට සංගීතයට විභවයක් ඇති බව යි. 


ගීතය යනු වාචික වූ භාෂාවේත් අවාචික වූ සංගීතයේත් සමවායයෙන් බිහිවූ සංයුක්ත කලාව කි. වාචික වූ භාෂාව ගේය පද රචනය ලෙසිනුත් අවාචික වූ සංගීතය තනුව හෙවත් නාදමාලාව ලෙසිනුත් ගීතයේ දී සුසංයෝග වෙයි. අර්ථ සූක්ෂම වූ භාෂා මාධ්‍යය සතු ශක්‍යතාවයත් හැඟීම් සූක්ෂම වූ සංගීත මාධ්‍ය සතු ශක්‍යතාවයත් ගීතයේ දී සමහන් වන බැවින් ගීතය සතු සන්නිවේදන ශක්‍යතාවය අති ප්‍රබල ය. ගීතය අතිශයින්ම ජනප්‍රිය කලා මාධ්‍යයක් බවට පත්වීමට හේතුවන්නට ඇත්තේ ද එය සතු ඉහත කී ප්‍රබල සන්නිවේදන ශක්‍යතාවය යි. ජාති, ආගම්, වර්ග, දේශසීමා ඈ පවුරු පදනම් විනිවිද ගීතය ගමන් කරනුයේ මෙම ප්‍රබල සන්නිවේදන හැකියාව නිසා ය. සුමියුරු බොලිවුඩ් ගීතයකට යුරෝපයේ, ඇමරිකාවේ, පමණක් නොව ඈත පෙරදිග රසිකයින් ද ආසක්ත වනුයේ එහි ගේය පද රචනයේ වූ හින්දි භාෂාව නොදන්නා මුත් එහි ගීතමය ප්‍රකාශනය විශ්ව සාධාරණ එබැවිනි; ඊට පවුරු පදනම් විනිවිද ගමන් කිරීමට ඇති හැකියාව හෙයිනි. 


ගීතය තුල ඇති අවාචික වූ සංගීතමය ප්‍රකාශනය වචනයෙන් විස්තර කිරීම තරමක් දුෂ්කර කටයුත්ත කි. ගීත විචාරකයින් යැයි කියාගන්නා බොහෝ දෙනා ගීතයේ ඇති ගේය පද රචනාව මුල සිට අගට අකුරක් නෑර විවරණය කර ගීත විචාරය හමාර කරන්නේ එනිසා ය. සැබැවින්ම ඒවා ගීත විචාර නොව ගේය පද රචනා විචාර ය; ගීත රසවින්දන නොව ගේය පද රචනා රසවින්දන ය. සැබෑ ගීත විචාරයන් යනු ගීතයේ සංගීතමය ප්‍රකාශනය හා භාෂාත්මක ප්‍රකාශනය මෙන්ම සංගීතය හා භාෂාව සමහන් වීමෙන් හටගන්නා තෙවැනි අර්ථ නැත්නම් ඒවා ද විග්‍රහ කරමින් කරන විචාරයන් ය. එවන් විධිමත් විචාර සම්ප්‍රදායක් ගොඩනැගීමට නම් ගීතය යනු කුමක්දැයි යන කරුණ සම්බන්ධයෙන් වන සංවාදය හා අධ්‍යයනය මීට වඩා ගැඹුරින් සිදුකළ යුතු ය. 


ගීතයට ආකර්ෂණය වන පොදු සාමාන්‍ය රසිකයා ද ගීතය තේරුම් ගැනීමට උත්සාහ ගනුයේ ඒ තුළ ඇති තමා දන්නා වචනවල අනුසාරයෙනි. මන්ද ගීතමය ප්‍රකාශනය ඔහුගේ භාව මණ්ඩලයට ගෝචර වුවද ඔහු එකී ප්‍රකාශනය මනෝමය වශයෙන් අර්ථ දක්වා ගනුයේ එහි ඇති ඔහුට වඩා තේරුම් යන සුළු වචනවල පිහිටෙන් හෙයිනි. මෙම ලිපි මාලාවේ පළමු ලිපියේ දි කී පරිදි "තිසා වැවයි" යන කොටස ගයන විට අමරදේවයන්ගේ සුරත ඉහලට එසවීමත් "සීගිරියයි" යන කොටස ගයන විට අමරදේවයන්ගේ සුරත පහලට ගොස් පොළොවට සමාන්තරව දෙපසට සෙළවීමත් ඒ දෙස බලා සිටි රසිකයන්ගේ හාස්‍යයට හෝ විනෝදයට කරුණක් වූයේ එහෙයිනි. සැබවින්ම පණ්ඩිත් අමරදේවයන්ගේ එකී නිසඟ චලනයන් සිදු වුයේ ගීතමය ප්‍රකාශනයට අනුකූලව ම ය. එය සැබැවින් ම නිවැරදි ය. ගේය පදමාලාවේ ඇති හුදු වාච්‍යාර්ථය ඉක්මවා ගොස් එය සංගීතමය ප්‍රකාශනයක් ලෙස තේරුම් ගැනීමට තරම් රසිකත්වය මුහුකුරා ගිය දියුණු රසිකයින්ට අමරදේවයන්ගේ ඉහත චලනය අරුමයක් හෝ හාස්‍යයට කාරණයක් නොවේ. ගීත රසිකයා ගීතයේ වාච්‍යාර්ථ ඉක්මවා ගොස් එහි සංගීතමය ප්‍රකාශනය තේරුම් ගන්නා මට්ටමට දියුණු කිරීමට ඇති එක් ප්‍රබල බාධකයක් නම් ඊනියා ගීත විචාරකයන් ය. ගීතයේ ඇති එක් කොටසක් පමණක් වූ ගේය පදමාලාව සමස්තය යැයි සිතා තමා සතුව ඇති භාෂා දැනුම මත ම පමණක් යැපෙමින් ගීතය විග්‍රහ කරන විචාරකයා සැබැවින්ම අලියාගේ පාදයක් දෑතින් බදා ගෙන අලියා කෙබඳු දැයි ඒ පාදය අනුව විස්තර කරන අන්ධයෙකුට දෙවැනි නැත.


... රවි කළුපහණ ...


(මෙම ලිපි මාලාව කාලයකට පෙර ලියූවකි.

මෙම ලිපිය සංවාදයට විවෘතයි)


 Ravi Kalupahana


ගීත රසවින්දනයට රූපමය සබැඳිය

https://youtu.be/OgeTcuBV6to

Comments

Popular posts from this blog

කිමද උන් මා දෙස නො ලැග්ගේ

විශ්වවිද්‍යාලයෙන් පැන්නූ "විශ්වවිද්‍යාලය"

ආලෝක වර්ෂ ගණනාවක් ඉදිරියෙන් සිටි සයිමන් නවත්තේගම