සයිමන් නවගත්තේගම නම් කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා
සයිමන් නවගත්තේගම නම් කාලත්‍රයේ තීර්ථයාත්‍රිකයා
-------------------------------------------------------------
යථාර්ථවාදී රීතිය නම් සෙක්කුව වටා කරකැවෙමින් තිබූ සිංහල ප්‍රබන්ධ කතා සාහිත්‍යය ඉන් මුදවා ගත්තෝ කීර්තිශේෂභාවෝපගත සයිමන් නවගත්තේගමයෝ ය. විසිවන සියවසේ මුල් කාර්තුවේ දී පමණ මාර්ටින් වික්‍රමසිංහ විසින් නිල වශයෙන් ආරම්භ කරන ලද යථාර්ථවාදී සාහිත්‍යය සම්ප්රදාය එදිවීර සරච්චන්ද්‍ර, ජී.බී. සේනානායක, ගුණදාස අමරසේකර, කේ. ජයතිලක ආදීන් අඛණ්ඩව රැගෙන ගිය නමුත් විසිවන සියවසේ අවසන් කාර්තුවට එළඹෙන විට එය කිසියම් ඝනීභූත තත්ත්වයකට පත්වෙමින් තිබුණි. එවන් ඓතිහාසික මොහොතක "සංසාරාරන්යයේ දඩයක්කාරයා" (1981) නම් අසිරිමත් නවකතාව රචනා කරමින් සිංහල ප්‍රබන්ධ කතා කලාවට නව මාවතක් විවර කළෝ සයිමන් නවගත්තේගමයෝ ය. ඔහුට ම ආවේණික වූ නව අධියථාර්ථවාදී රීතියක් සකසාගත් සයිමන් නවගත්තේගමයෝ සංසාරණයේ දඩයක්කාරයා, දඩයක්කාරයාගේ කතාව, සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා, සංසාරාරණ්‍ය අසබඩ, සාපේක්ෂනී, ක්ෂීර සාගරය කැළඹිණ, ස්වර්ණවන්නියේ වල්ලි අම්මලා, වානරයා ආදී විශිෂ්ට නවකතා මාලාවක් එම රීතිය අනුව නිර්මාණය කළහ. මෙම නිර්මාණ සිංහල සාහිත්‍ය වංශයේ නව යුගයක් ආරම්භ කළ යුගකාරක නිර්මාණ විය. එහෙයින් ම සයිමන් නවගත්තේගමයෝ ද සිංහල සාහිත්‍ය වංශය තුළ යුග පුරුෂයෙක් වූහ.
සයිමන් නවගත්තේගමයන් ද සිය සාහිත්‍ය චාරිකාව ආරම්භ කරන්නුයේ එතෙක් පැවති යථාර්ථවාදී රීතිය අනුව ම ය. ඔහුගේ පළමු කෘතිය "මගේ මුල් පොත හෙවත් ඔහුගේ කතාව" නම් කෙටිකතා සංග්‍රහයයි. එය ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යයකු ව සිටි අවදියේ ප්‍රකාශයට පත් කළ කෙටිකතා සංග්‍රහයකි. වයස විස්සක තරුණයකුව සිටිය දී 1960 වසරේ නිකුත් කරන මෙම කෙටිකතා සංග්‍රහය රචනා කර ඇත්තේ එවකට පැවති ප්රමුඛ සාහිත්‍ය රීතිය වූ යථාර්ථවාදී සාහිත්‍ය රීතිය අනුව ය. ඔහුගේ පළමු නිර්මාණයෙන් ම ඔහු දැක් වූ අසාමාන්‍ය ප්‍රතිභාව පිළිබඳව එවකට යථාර්ථවාදී සාහිත්‍යය නියරේ සිටි ප්‍රමුඛතම නිර්මාණකරුවකු වූ කේ. ජයතිලකයන් දක්වනුයේ මෙවන් අදහසකි.
"කෙටිකතාකරුවකු වශයෙන් සයිමන් නවගත්තේගම තුළ ඇති ප්‍රතිභා ශක්තිය අවබෝධ කරගැනීමට ඔහු විසින් ලියන ලද "ඔහුගේ කතාව" වුවද හොඳට ම ප්‍රමාණවත් ය. මේ වනාහී කවර ලේඛකයකු විසින් හෝ සිංහලයෙන් ලියන ලද හොඳම කෙටිකතා තුන හතරෙන් එකකි."
සයිමන් ගේ ප්‍රථම නවකතාව ඔහු රචනා කරන්නේ ද යථාර්ථවාදී සාහිත්‍යය රීතිය අනුව ය. ඒ "සුද්දිලාගේ කතාව" යි (1978). කේ. කේ. සමන් කුමාර වැනි විචාරකයකු පවසන්නේ එය සිංහලයේ යථාර්ථවාදී සාහිත්‍යය නියර තුළ බිහිවූ විශිෂ්ටතම නවකතාව බවත්, වික්‍රමසිංහ ගේ තුන්ඈඳුතු නවකතාවලට වඩා ඉහළ තැනක මෙම නවකතාව තැබිය යුතු බවත් ය. කෙසේ වුවද සයිමන් නවගත්තේගම යථාර්ථවාදී සාහිත්‍ය රීතිය අනුව නිර්මාණය කළ සාහිත්‍ය කෘති කිහිපය සලකන විට පෙනී යන්නේ යථාර්ථවාදී සාහිත්‍යය නියර තුළ ද ඔහු අද්විතීය ප්‍රතිභාවක් දක්වා ඇති බව ය. යථාර්ථවාදී රීතිය අනුව සයිමන් කළ නිර්මාණ එම නියරේ බිහි වූ විශිෂ්ටතම නිර්මාණ බව බොහෝ සාහිත්‍ය විචාරකයෝ අවිවාදිතව ම පිළිගනිති.
සයිමන් නවගත්තේගම අධියථාර්ථවාදී රීතියට පිළිපන් පළමු නවකතාව 'සංසාරාරණය්යයේ දඩයක්කාරයා" කෘතියයි . මෙය සිව් ඈඳුතු නවකතා පෙළක පළමු නවකතාවයි. අනෙක්වා නම් "දඩයක්කාරයාගේ කතාව" "සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා" හා "සංසාරාරන්ය අසබඩ" නම් කෘති ය. මෙම කෘතිවල දඩයක්කාරයා, හාමුදුරුවෝ, ආගන්තුකයා ආදී චරිත හමුවෙයි. ඔහුගේ කතාවල වනාන්තරය ද ප්‍රධාන චරිතකි. එය හිත් පිත් නැති හුදු වනාන්තරයක් පමණක් නොව අධ්‍යාත්මයක් සහිත වන අරණකි; සංසාරාරණ්යයකි. ඔහු දඩයක්කාරයා හා හාමුදුරුවන් තුළින් මිනිසාගේ ජාගර සිත( ඉඩ් අහංභාවය ) හා සුපහන් සිත (සුපිරි අහංභාවය) අතර සනාතන, අනවරත අරගලය නිරූපණය කරයි. සයිමන් ගූඪ මායාවක් තුළින් පැමිණ අන්ධකාරයේ මීදුම අතරින් මිනිසාගේ ද්විත්ව ස්වරූපය පිළිබඳව අපට පෙන්වා දෙන්නේ ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණවාදයේ අනුභූතීන් ද සමඟ ය. ශ්‍රී ලංකාවේ දකුණේ සිදු වූ දෙවන තරුණ නැගිටීමෙන් ඔහු ලද ආවේශය සයිමන් ප්‍රතිනිර්මාණය කරන්නේ සාහිත්‍ය කෘති දෙකක් හරහා ය. ඒ "සාපේක්ෂණී" හා "ක්ෂීර සාගරය කැළඹින" යන නවකතා දෙකයි . මෙම කෘති දෙක ද අධියථාර්ථවාදී රීතිය අනුව නිර්මාණය කළ විශිෂ්ට නිර්මාණයෝ ම වෙති. ඔහුගේ බාවනාව නම් කෙටිකතා සංග්‍රහයේ එන "ප්‍රේත වස්තුව" නම් කෙටි කතාව අධියථාර්ථවාදී නියර තුළ බිහි වූ විශිෂ්ටතම සිංහල කෙටිකතාව යනු මගේ නිගමනයයි.
සයිමන් ගේ අධියථාර්ථවාදී රීතිය බටහිර අධියථාර්ථවාදී රීතියේ හුදු කාබන් කොපියක් නොවේ; අන්ධානුකරණයක් ද නොවේ. ඔහු ලතින් අමරිකානු මායායථාර්ථවාදී සාහිත්‍යයෙන් යම් ආභාසයක් ලැබූ බව සත්‍යයකි. නමුත් බටහිරින් ගත් එම සාහිත්‍ය ආකෘතිය ඔහු වඩ වඩාත් පෝෂණය කළේ පෙරදිග මූලාශ්‍ර රාශියක් පරිශීලනය කිරීමෙනි. සිංහල ජාතක කතා, ධම්මපදට්ඨකථා, ප්‍රේත වස්තු, විමාන වස්තු, ථේර ථේරී කතා ආදී නොයෙකුත් බෞද්ධ මූලාශ්‍ර මෙන්ම සිංහල ජනශ්රැති , පුරාණෝක්ති, ජන විශ්වාස , ජනකවි වැනි චූල සම්ප්රදායේ මූලාශ්‍ර ද ඔහු ළඟින් ඇසුරු කළ බව ඔහුගේ නිර්මාණ කියවන විට දැනේ. උදාහරණයක් ලෙස ගතහොත් ඔහුගේ "ස්වර්ණවන්නියේ වල්ලි අම්මලා" කෘතියට පාදක වී ඇත්තේ ගාඩි ජනයාගේ විශ්වාස, ස්වර්ණමාලි දෙවඟන පිළිබඳ පුරාණෝක්ති, සාලිය අසෝකමාලා පිළිබඳ පුරාණෝක්ති, කුවේණි අම්මා පිළිබඳ ජන විශ්වාස ආදී චූල සම්ප්රදායේ ජන මූලාශ්‍ර ය.
සයිමන්ගේ කෘතිවල දෘෂ්ඨිය සකස්වීමට ප්‍රධාන දර්ශනවාද තුනක් පාදක වී ඇති බව විචාරකයන් පෙන්වා දී ඇත. ඒ බෞද්ධ ඥාන විභාගය, ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණවාදය හා මාක්ස්ගේ ඓතිහාසික භෞතිකවාදයයි. මීට අමතරව අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය, භවසත්තාවාදය, පශ්චාත් නූතනවාදය වැනි දාර්ශනික මතවාදයන්ගෙන් ද ඔහුගේ සාහිත්‍ය ප්රකාශනයට ආලෝකයක් ලැබී ඇත. සයිමන්ගේ කෘතිවලට පාදක වූ බෞද්ධ ඥාන විභාගයට වැඩි වශයෙන් ම පාදක වී ඇත්තේ හීනයානයට වඩා මහායාන, තන්ත්රයාන හා වජ්රයාන අදහස් ය. මහායානික දර්ශනවාදවල ආලෝකය ලබමින් සිය "නොමියෙමි" හා "ප්රබුද්ධ" යන ආඛ්‍යාන කාව්‍ය කෘති හරහා සේකර ගොඩනැගූ බෞද්ධ ප්රඥාමාර්ගික සාහිත්‍ය සම්ප්රදාය නවකතාව හරහා ඉදිරියට ගෙනගියෝ සයිමන් නවගත්තේගමයෝ ය. මනස තුළ ඇති ද්විත්ව ස්වරූපය මෙන් ම ජාගර සිත හා සුපහන් සිත අතර ඇතිවන ගැටුම නිර්මාණය කිරීමේ දී සයිමන් ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණවාදයෙන් ලැබූ ආලෝකය අනල්ප ය. ගැහැනුන් හා මිනිසුන්ගේ චිත්ත චෛතසික විභාග කිරීමේ දී ඔවුන්ගේ අවිඥානක මනස නිරූපණය කිරීමට සයිමන්ට ඇති හැකියාව ඉතා සියුම් එකකි. එහි දී ෆ්‍රොයිඩියානු සිහින විශ්ලේෂණය පිළිබඳ හොඳ කියවීමක් සයිමන්ට තිබූ බව පෙනේ. සුබ- යස ( සුභ සහ යස නාට්‍යය), අධිරාජ්‍යයා - කැරලි නායකයා ( ක්ෂීර සාගරය කැළඹිණ නවකතාව), දඩයක්කාරයා - හාමුදුරුවෝ ( සංසාරාරණ්‍යයේ කතා චතුස්කය), රජු - චෞර නායකයා ( සාපේක්ෂණී නවකතාව) ආදී ලෙස මිනිස් මනසේ ද්විඝටනාත්මක ස්වභාවය නිරූපණය කිරීමට ද සයිමන් ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණවාදයේ ආලෝකය ලබා ඇති බව පෙනේ.
කාලය නම් සිව්වන මානය සමග ක්‍රීඩා කිරීමට සයිමන්ට අවශ්‍ය ශක්තිය ලබාදී ඇත්තේ අයින්ටයින්ගේ සාපේක්ෂතාවාදයයි. "සාපේක්ෂණී" වැනි ඓතිහාසික නවකතාවක් රචනා කිරීමේ දී සයිමන් කාලය සමඟ ක්‍රීඩා කරයි. ඇතැම්විට කාලය සමඟ යන ඔහු තවත් විටෙක කාලයට එරෙහිව යයි. ඔහු අතීතය , වර්තමානය හා අනාගතය යන කාලත්‍රයේ ම සිටියි. අතීතයේ සිටිමින් අනාගතයේ සැරිසරයි. අනාගතයේ සිටිමින් අතීතයේ සැරිසරයි. වර්තමානයේ සිටිමින් අතීතය හා අනාගතය යන දෙකම එකවර ස්පර්ශ කරයි. ඔහු ඇවිදිමින් ම නැවතීම සොයයි; ජීවිතය තුළ ම ශූන්‍යත්වය සොයයි; සංසාරය තුළ ම නිවන සොයයි. ඔහුගේ චින්තනයට හෝ නිර්මාණ ආරම්මණයට කාලය නම් මානය සීමා නො පනවන්නේ අතීතයත් අනතීතයත් විනිවිදින තියුණු ප්‍රඥාවක් ඔහු තුළ වූ නිසා ය. තන්ත්රයානික සූත්‍රවල සඳහන් උමතු ප්‍රඥාවෙන් යුතු මුනිවරයකු ලෙසිනි සයිමන්ගේ කෘති කියවන විට මට ඔහු පෙනෙන්නේ.
සයිමන් මේ කොදෙව්ව තුළ නො ඉපද බටහිර රටක සිට ඉංගිරිසියෙන් හෝ වෙනත් ප්රමුඛ භාෂාවකින් සාහිත්‍යකරණයේ යෙදුනේ නම් ඔහු මාකේස්, පවුලෝ කොයියෝ හෝ ඇලන්ඩේ හා සම තත්වයේ හෝ ඊටත් ඉහලින් තැබිය හැකි ලේඛකයෙකි. ඔහු ලියූ දේ මේ කොදෙව්වන්ට නො වැටහිණ; වටහා ගන්නට උවමනාවක් ද නොතිබුණි. වික්ටෝරියානු සදාචාරවාදය අනුව ප්‍රතිව්‍යුහගතකරණය කළ ජනප්‍රිය බුදු දහම හෙවත් ඕල්කට් බුදු දහම හෙවත් මහාචාර්ය ගණනාථ ඔබේසේකර හැඳින්වූ ප්‍රොතෙස්තන්ත්‍ර බුදු දහම හිසින් ගත් ශ්‍රී ලංකාවේ බහුතර සිංහල බෞද්ධයෝ සයිමන් ගේ කෘති දැක තැති ගත්හ; සංත්රාසයට පත්වූහ. යථාර්ථවාදී රීතිය ම ගුරුකොටගත් එය ම පමණක් ඒකඝන, සර්වතෝභද්‍ර යැයි සිතූ බොහෝ ශාස්ත්‍ර පීඨවල සරසවි ඇදුරෝ ද සයිමන්ගෙ නමවත් සඳහන් නො කිරීමට ඉමහත් සේ පරිස්සම් වූහ; සියුම් ලෙස වගබලා ගත්හ.සාහිත්‍ය සම්මාන උත්සවවල විනිසුරෝ ද සයිමන්ගේ පොත් දුටු විට සකල සරුවාංගෙම වෙව්ලා ගොස් අහක බලා ගත්හ;දැක්කා නො දැක්කා සේ සිටියහ; මුනිවත ම රැක්කහ. සයිමන්ට මේ කොදෙව්වෙන් සිදුවූ අවේනිකම් ඒවා ය. මට අනුව නම් සයිමන්ගේ ගේ කෘතියකට සිදු වූ බරපතලම අසාධාරණය සිදුවූයේ මේ මෑතක ය. ඒ ඔහුගේ ක්ෂීර සාගරය කැළඹිණ නම් කෘතියේ මතුපිට අර්ථය පමණක් ගෙන, එහි කතා රසයට පමණක් වහල් වී, නමුත් මතුපිට කතාවේ ද හිස ගසා දමා හිස සුන් කවන්ධයෙන් චිත්‍රපටයක් යැයි යමක් අටවා එය "සයිමන් නවගත්තේගමගේ ක්ෂීර සාගරයක කැලඹිණ නවකතාවේ සිනමා අනුවර්තනය" යැයි තමුන් ම නාමකරණය කරගනිමින් සුනිල් ආරියරත්නයන් කළ බරපතල නිග්රහයයි; අර්ථ ඝාතනයයි; රස භ්රෂ්ටයයි. සයිමන් නවගත්තේගමයන් ක්ෂිතිජ නිම්වළල්ල තෙක් පුළුල්ව දකිමින් නිර්මාණය කළ නිර්මාණ දෙස ඉදිකටු පුකකින් බලන සම්මානිත මහාචාර්යවරු සිටින කළ මේ රටේ මීට වැඩි දෙයක් බලාපොරොත්තු වීම ම මෝඩකමකැයි මට සිතේ.
... රවි කළුපහණ ...
( ලිපිය සංවාදයට විවෘතයි.
මගේ ලිවීමේ ගාස්තු ඔබේ අදහස් ය.
මීළඟ ලිපියෙන් සයිමන් නවගත්තේගමයන් ගේ ක්ෂීර සාගරය කැළඹිණ නවකතාව ගැන කතා කරමු)
සයිමන් නවගත්තේගම :: Simon Nawagaththegama
Comments
Post a Comment