මාගම් සෝලිය

 මාගම් සෝලිය

-----------------------------


මාගමුන් නම් ස්ත්‍රීන් ය. සෝලිය යන වචනයට වරද, චෝදනාව, පලහිලව්ව, හුටපටය වැනි අර්ථ ඇත. නමුත් බොහෝ විට මාගම් සෝලිය යන යෙදුම භාවිත වනුයේ සංඝයා විශේෂයෙහි ය; භික්ෂූන් අරඹයා ය. ඉන් අදහස් වනුයේ සංඝයා හා ස්ත්‍රීන් අතර ඇතිවන අවකල් ක්‍රියාවන් ය; පෙම් පළහිලව්ව ය; ලිංගික හුටපට ය. එය සංඝයාට අවැතකි; පාරාජිකාව කි. චේතනාන්විතව ලිංගික ක්‍රියාවල යෙදීම විනය පිටකයේ සඳහන් ප්‍රධානතම පාරාජිකා වන් හතරෙන් එකකි. අනෙක්වා නම් සොරකම් කිරීම, ප්‍රාණඝාතය හා තමා ලබාගෙන නැති මාර්ගඵල ලැබූ බව ප්‍රකාශ කිරීම ය. බුදුන් ප්‍රකාශ කළේ එවන් පාරාජිකාවන් කරන භික්ෂූන් තවදුරටත් භික්ෂූන් ලෙස නො සැලකිය යුතු බව ය. එවැනි පුද්ගලයින් හැඳින්වීමට අපගේ භාෂාවේ භාවිත වනුයේ චීවරධාරියා යන වචනය ය. එහි අර්ථය චීවරයක් දරා සිටිනා යනු ය. නමුත් එවැන්නන් පොරවාගෙන සිටින කහ පැහැති වස්ත්‍රය චීවරය යැයි පැවසීම ද නො සුදුසු යැයි සිතන අය කාසමුණ්ඩුකයා යන වචනය භාවිත කරයි. එහි අර්ථය කහ පැහැති වස්ත්‍රයක් හැඳ හිස මුඩු කරගත් තැනැත්තා යන්න ය. ශ්‍රමණවේශධාරියා යන පදය ද පාරාජිකා වූ භික්ෂූන් හැඳින්වීමට වර්තමානයේ භාවිතා වන්නකි. එයින් අදහස් වනුයේ ශ්‍රමණ වෙස් ගත් තැනැත්තා යන්න ය. ශ්‍රමණ වෙස් ගත්තේ නමුත් ඔහු සැබෑ ශ්‍රමණයකු නොවන බව ද එහි අන්තර්ගත ය.


ලිංගික ක්‍රියාවල යෙදීමට ඇති ආශය යනු මිනිසාට ඇති මූලික ම අවශ්‍යතාවයකි. එය හුස්ම ගැනීම, වතුර බීම, ආහාර ගැනීම, නිදා ගැනීම වැනි මූලික මානව අවශ්‍යතාවයන් අතර වූවකි. එනිසා ලිංගික ක්‍රියාවල යෙදීම යනු අතිශයින්ම ස්වභාවික සිද්ධියකි. ජෛව පරිණාමීය ක්‍රියාවලියේ දී සත්වයින් තුළ ලිංගික ආශය ගොඩනැගී ඇත්තේ ඔවුන්ගේ පැවැත්මට ප්‍රජනනය අත්‍යාවශ්‍ය කාරණයක් වන බැවිනි. ලිංගික ආශාවන් බලහත්කාරයෙන් යටපත් කිරීම මානසික රෝග ඇති වීමට ප්‍රබල හේතුවක් බව මනෝවිශ්ලේෂණවාදීන් පෙන්වා දී ඇත. ලිංගිකව හැසිරීම අවැතක් ලෙස සලකන යම් යම් පූජක කණ්ඩායම් අතර හොර රහසේ සිදුවන අසම්මත ලිංගික චර්යාවන් පිළිබඳ තොරතුරු වරින්වර හෙළිදරව් වනුයේ මෙවැනි පසුබිමක් තුළ ය. එය ඈත ඉතිහාසයේ සිට ම තිරය පිටුපස පවතින නමුත් සුලබ ලෙස හමුවන මාතෘකාවකි. 


මා හිතන හැටියට සමාජයේ පන්ති ක්‍රමය පවතින තාක්, පූජක කණ්ඩායම් අතර පවතින මෙවැනි අවකල් ක්‍රියාවන් ද නොවැළැක්විය හැකි , අනිවාර්ය අංග වෙයි. උදාහරණයක් වශයෙන් සංඝ සමාජය ගතහොත් පැවිද්දෙකු බවට පත්වීමේ දී ගිහියෙකු වශයෙන් තමා භුක්ති විඳි බොහෝ වරප්‍රසාද අත් හැරීමට සිදු වෙයි. ඒ අතර ලිංගික සම්භෝගය, ඉර හැරුණු පසු ආහාර ගැනීම, ඉඩකඩම් - දේපළ - යාන වාහන ආදී උපභෝග පරිභෝග වස්තුවලට අයිතිවාසිකම් කීම, නැටුම් - ගැයුම් - වැයුම් - ක්‍රීඩා කෙළි සෙල්ලම් වැනි විනෝදාස්වාද මාර්ග ආදී එකී මෙකී නොකී බොහෝ දේ අත හැරීමට සිදු වෙයි. එමෙන් ම පැවිද්දන්ට බොහෝවිට සහතික වශයෙන්ම හිමිවන යම් දේවල් ප්‍රමාණයක් ද ඇත. උදේට හා දවල්ට ප්‍රණීත පෝෂදායි ආහාර, ජීවත්වීමට සාපේක්ෂ වශයෙන් පහසුකම් ඇති ස්ථිර ආවාස, අධ්‍යාපනය ලබන වයසේ කෙනෙක් නම් එය කඩාකප්පල් නොවී සුරක්ෂිතව කරගෙනයාමට පහසුකම්, සමාජයේ ගෞරවනීය පිළිගැනීම ආදිය ඒ අතර වෙයි. බොහෝවිට පංති සමාජයේ පීඩිත පන්තියට අවම වශයෙන් මෙම වරප්‍රසාද ටික හෝ ලැබෙන්නේ නැත. එනිසා ඔවුන් තුළ පැවිදි සමාජයට ඇතුළු වී මෙම වරප්‍රසාද භුක්ති විදීමේ පෙළඹුමක් ඇති වෙයි. ගිහි සමාජයේ පීඩිත පන්තියේ අයකුට පැවිදි සමාජයට ඇතුළු වීම ම යමි විමුක්තිය කි. ඒ තමා එතෙක් භුක්ති විඳී දුක් කම්කටොලුවලින් යම් දුරකට හෝ මිදීමට එය මාර්ගයක් වන බැවිනි. එමෙන්ම පන්ති සමාජයක පාලකයන් හා පූජකයන් අතර ගොඩනැගෙන අශුද්ධ සන්ධාන නිසා පාලකයාට නොදෙවෙනි ව ලාභ සත්කාර භුක්තිවිදින සුඛෝපභෝගී පූජක පන්තියක් ද, පාලක පන්තියේ නො මද අනුග්‍රහ යටතේ බිහිවෙයි. පීඩිතයෙකු වශයෙන් තමාට විඳීමට සිදුවන දුක් ගැහැටවලින් මිදීමට පැවිදි සමාජයට ඇතුළු වන තැනැත්තා ඉන් අනතුරුව උත්සාහ ගනුයේ පාලකයා සමග කෙසේ හෝ අශුද්ධ සන්ධානයක් ගොඩනගාගෙන පාලකයා හා සමානව ම වරප්‍රසාද භුක්ති විදින අධි සුඛෝපභෝගී පැවිදි සමාජයට ඇතුළු වීමට ය. ඒ වෙනුවෙන් ඔහු පාලකයා උදෙසා නොකරන දෙයක් නැත. එනිසා පන්ති සමාජයක් තුළ සුපේෂල ශික්ෂාකාමී පැවිදි සමාජයක් බලාපොරොත්තු වීම ඌරු දළවලින් ගජමුතු බලාපොරොත්තු වීමට දෙවෙනි නැත.


වඩාත් සාර්ථක පැවිදි සමාජයක් ද ගොඩනැගිය හැක්කේ නිෂ්පාදන සාධක වල අයිතිය සියලු දෙනාටම පොදු වූ, කාටත් කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් ගැටළුවක් නැති, හිසට සෙවණක්, හොඳ අධ්‍යාපනයක්, මනා සමාජ ආරක්ෂණයක් ඇති පන්ති විරහිත සමාජයක දී ය. එවිට පැවිදි සමාජය සංඛ්‍යාත්මකව බොහෝ කුඩා වනු ඇති නමුත් ගුණාත්මකව වඩා හොඳ තත්ත්වයකට පත්වනු ඇත. මන්ද සැබැවින්ම සසර නිසරු බව හඳුනාගත්, කෙලෙස් ප්‍රහීණ කිරීම ම තම පරම අභිලාෂය කර ගත් අය පමණක් එවිට පැවිදි සමාජයට ඇතුළත් වනු ඇති නිසා ය. සැබවින්ම සත්‍ය ගවේෂණය කරන, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ පිහිටි, මාගම් සෝලි නැති පරමාදර්ශී සංඝ සමාජයක් බිහි කළ හැක්කේ එවන් පංති විරහිත සමාජයක දී පමණි. 


 … රවි කළුපහණ …


( මෙම ලිපිය සංවාදයට විවෘතයි. මගේ ලිවීමේ ගාස්තුව ඔබේ අදහස් ය.)

Comments

Popular posts from this blog

කිමද උන් මා දෙස නො ලැග්ගේ

විශ්වවිද්‍යාලයෙන් පැන්නූ "විශ්වවිද්‍යාලය"

ආලෝක වර්ෂ ගණනාවක් ඉදිරියෙන් සිටි සයිමන් නවත්තේගම