සරත් විජේසූරිය නම් අසිරිමත් සංනිවේදකයා

 සරත් විජේසූරිය නම් අසිරිමත් සන්නිවේදකයා...

-------------------------------------------------------

මහාචාර්ය සරත් විජේසූරිය මගේ ගුරුවරයෙකි. මා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල සාහිත්‍යය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරන විට සමකාලීන සාහිත්‍ය විෂය ඉගැන්වූ මහාචාර්යවරයා ඔහු ය. ඔහුගේ දේශන කෙතරම් රසවත් වී ද යත් මම එතුමාගේ එකදු දේශනයක් හෝ මගනොහැර සහභාගිවීමට වගබලා ගතිමි. මට එකම එක දිනක ඔහුගේ දේශනයක පැයක පමණ කොටසක් මගහැරුනි. ඒ කිසිසේත්ම කල් දැමිය නො හැකි හදිසි හා අත්‍යවශ්‍ය රාජකාරියකට යාමට සිදු වූ නිසා ය. එදින මගහැරුණු දේශනයේ කොටස පිළිබඳව මා බලවත්සේ අකම්පාල වූ බව මට අදත් හොඳින් මතක ය. අපගේ පාඨමාලාවට මොණරාගල, අම්පාර, මැදවච්චිය, ත්‍රිකුණාමලය ආදි ඈත ප්‍රදේශවල සිට ද විද්‍යාර්ථීයෝ පැමිණියහ. පෙරදා රාත්‍රියේ සිට නිදිමරාගෙන පැමිණෙන ඔවුන් දැඩි වෙහෙස නිසා දේශන ශාලාවේ නිදාගන්නා අයුරු මා අනන්තවත් දැක ඇත. නමුත් මහාචාර්ය සරත් විජේසූරියගේ දේශනවල දී කිසිවෙකු නිදාගන්නවා තබා කම්මැලිකමට ඈඩුමක් හෝ පිට කරනවා මා දැක නැත. 


මහාචාර්ය සරත් විජේසූරිය අසීමිත අනුරාගයකින් යුතුව තමාගේ විෂය අභ්‍යාස කළ අයෙකු බව මා දැක ඇත. ඔහු සාහිත්‍ය පිළිබඳ දේශන පැවැත්වූයේ ද එකී අනුරාගෙන් යුතුව ම ය. ඇතැම් විට දේශනයට නියමිත පැය තුනක කාලය ඉක්ම ගිය පසු ද ඔහු දේශනය පවත්වා ගෙන ගියේ ය. පාඨමාලාවේ සමහර දේශනවල දී එය අවසන් වන තෙක් නො ඉවසිල්ලෙන් බලා සිටි මට ඔහුගේ දේශනය අවසන් වූ විට ඇතිවූයේ කිසියම් කාංසාසහගත හැඟීමකි. ඒ දේශනය අවසන වීම පිළිබඳව ය. ඔහු ලියා ගැනීමට සටහන් කියවමින් කාලය කා දමන්නේ නැත. විමර්ශනය කළ යුතු පොත්පත් නාමාවලියක් මෙන්ම කියවීම සඳහා මුද්‍රිත සටහන් මාලාවක් දේශනවලට පෙර ම ලබාදෙයි. දේශනය අතරතුර උපුටා දැක්වීමට අවශ්‍ය පොත්පත් මිටියක් ද ඔසවා ගෙන පැමිණෙන ඔහු පැය තුන පුරා ම රසවත් ලෙස දේශනය කරගෙන යයි. පොත් මිටියෙන් පොතක් විවෘත කරන්නේ කිසියම් උධෘතයක් දැක්වීමට පමණි. බොහෝ පළපුරුදු මහාචාර්යවරයෙක් වුව ද ඔහු සෑම දේශනයකට පෙර ම හොඳින් සූදානම් වී පැමිණි බව මා නිතර නිරීක්ෂණය කර ඇත. 


බොහෝ දේශකයන් මෙන් වේදිකාව පුරා දුව පැන ඇවිදින සිරිතක් මහාචාර්ය විජේසූරියට නැත. අතපය විසි කරමින් බරපතළ ආංගික අභිනයන් දක්වන්නේ ද නැත. බොහෝවිට දේශන ශාලාවේ තබා ඇති පෝඩියමය වෙත යන ඔහු රැගෙන එන පොත් මිටිය ඒ මත තබා තැන්පත් වී පෝඩියමයට බර වී දේශනය කරයි. දේශන ශාලාවේ සිටින සිසුන් සමඟ හොඳ අක්ෂි සම්බන්ධතාවක් ( eye contact ) හා තරමක සාත්වික අභිනයක් සහිතව ඔහු දේශනය කරයි. ඔහුගේ දෙ අත දේශනය අනුව නිරායාසයෙන්ම චලනය වනුයේ කිසියම් ප්‍රකාශනයක් සහිතව ය. 


මහාචාර්ය විජේසූරියගේ හඬ කිසියම් ශාන්ත ස්වරයකින් යුක්ත ය. ඔහුගේ කටහඬ අනවශ්‍ය තරම් බර ද අනවශ්‍ය තරම් සැහැල්ලු ද නැත; අනවශ්‍ය තරම් සෞම්‍ය ද අනවශ්‍ය තරම් කොරසැඩි ද නැත. කිසියම් නාසික්‍ය ගුණයකින් යුත් ඔහුගේ ස්වරය මනසට ආමන්ත්‍රණය කරන සුළු ය. ඔහුගේ කතාවේ රිද්මය ද වැදගත් ය. ඔහු වචන විදින මැෂිමක් මෙන් හුස්ම නාල්ලා කියවා ගෙන යන්නේ නැත; එක වචනයක් කියා ශ්‍රාවකයින්ට නිදිමත හැදෙනතෙක් සිට අනෙක් වචනය කියන්නේ ද නැත. ඔහු වචන කණ්ඩයක් කියා මද විරාමයක් ගෙන ඊළඟ වචන කණ්ඩය කියයි. ඔහුගේ කතාවේ මේ විලම්භ රිද්මය ශ්‍රාවකයාට වඩාත් හොඳින් ග්‍රහණය කර ගැනීමට ඉඩකඩ ලබා දෙයි; අරුත් නිරුත් විමසා විග්‍රහ කර ගැනීමට වේලාවක් ලබා දෙයි. මහාචාර්ය විජේසූරියගේ කථනයේ රිද්මය සමපාත කළ හැක්කේ ආචාර්ය තිස්ස අබේසේකර, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ ආදීන්ගේ කථන රිද්මයන් සමග ය.අනෙක් වැදගත් ම කාරණය නම් ඔහුගේ කතාව ඒකතානමය ( monotonous )නො වීමයි. අවශ්‍ය පරිදි හඩ උස් පහත් කිරීමටත්, ශබ්දයේ තීව්‍රතාවය උචිත පරිදි හැසිරවීමටත් , කතාවේ හැඟීම්වලට අනුව හඬ පාලනය කිරීමටත් ඔහුට මනා හැකියාවක් තිබුණි. මහාචාර්ය විජේසූරියගේ සෑම වචනයක් ම සාරවත් ය. හිස් වචන, නර්මාලාප, සම්ප්‍රප්ප්‍රලාප ආදිය දේශන අතරතුර ඔහු කියන්නේ නැත. 


මහාචාර්ය විජේසූරිය ගේ දේශනවල බොහෝ විට යටි පෙළක් ද ඇත. ඔහු භාවිත කරනුයේ සරල වචන ය; පහසු යෙදුම් ය; අනවශ්‍ය මහප්‍රාණවලින් තොර සුගම බසකි. නමුත් ඒ සරල වචන තුළින් මතුකරන අරුත් ගැඹුරු ය; බරසාර ය. ශ්‍රාවකයාගේ බුද්ධි මට්ටම අනුව එහි ගැඹුර විවිධ තලවලින් ග්‍රහණය කරගත හැකි ය. එසේ නැතත් ඔහුගේ දේශන අසා සිටීමට කම්මැලිකමක් නැත; ඉතා රසවත් ය. ඔහුගේ බස ලක්ෂ්‍යාර්ථ, ශ්ලේෂාර්ථ, ව්‍යංගාර්ථ, ධ්වනිථාර්ත ආදියෙන් ගහණ ය. වරින් වර උපහාසය විදුලි කොටයි; උත්ප්‍රාසය පොළා පනියි. ඔහු ඉඳ හිට ගැඹුරු හාස්‍යය මතු කරනුයේ කටේ තොලේ වත් නො ගෑවෙන සේ ය. අමාරුවෙන් වත් සිනා නොවී සිටිය නො හැකි දේ ඔහු කියන්නේ කට කොනකින් වත් සිනා නො නගා ය. එහි ඇති වඩාත් සිත්ගන්නාසුළු දෙය නම් ඔහුගේ විහිළු අසා සභාව බඩවල් අල්ලාගෙන සිනාසෙනවිට "මේ කුමට සිනාසෙන්නේ ද " අසන්නාක්මෙන් ඔහු සභාව දෙස තුෂ්ණිම්භූතව බලා සිටින ආකාරයයි. එයින් සභාවේ සිනහව තව තවත් වැඩි වෙයි. සිනහ අවසන් වන තෙක් සිට මොකුත් නොවූවා සේ ඔහු නැවතත් දේශනය අරඹයි.


මහාචාර්ය සරත් විජේසූරිය වඩාත් ප්‍රබල ලෙස සමාජ දේශපාලනික වශයෙන් ජාතික තලයේ දී මැදිහත් වූයේ 2015 වසරේ ජනාධිපතිවරණය අවස්තාවේ යැයි මම සිතමි. ඒ අවස්ථාවේ රාජපක්ෂ රෙජීමය පෙරළා දැමීමට මතවාදීමය වශයෙන් ඔහු විශාල කාර්යභාරයක් කළ බව මගේ අදහසයි. මාදුළුවාවේ සෝභිත හිමි සමග එකතු වී යහපාලන රජය පිහිටුවීමට ඔහු සක්‍රීයව ම දායක විය. නමුත් ඒ මැදිහත්වීම ඔහු සිදු කළේ දේශපාලන වරදාන වරප්‍රසාද ලබා ගැනීමේ පටු අභිප්‍රායෙන් නොවන බව ඉතිහාසය විසින් මේ වන විට ඔප්පු කරනු ලැබ ඇත. ඔහුගේ ප්‍රබල ආකර්ෂණීය කථිකත්වය යහපාලන රජය ගොඩනැගීමට අවශ්‍ය මතවාදීමය පසුබිම සකස් කිරීමට විශාල මෙහෙයක් ඉටුකළ බව මගේ තක්සේරුවයි. නමුත් යහපාලන රජය අපේක්ෂිත යහපත් අරමුණුවලින් බැහැර යන විට එය විවේචනය කිරීමට ද මහාචාර්ය විජේසූරිය පසුබට නො වී ය. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අභාවයෙන් පසු ශ්‍රි ලංකා පදනම් ආයතනයේ පැවැති උන්වහන්සේගේ ගුණ සමරු උත්සවයක දී මහාචාර්ය විජේසූරිය පැවැත්වූ කතාව මෑත යුගයේ ජන විඥානයට ප්‍රබල ලෙස බලපෑ සිද්ධිවලින් එකක් බව මම සිතමි. එය යහපාලන රජයේ බිඳ වැටීම සනිටුහන් කළ තීරණාත්මක අවස්ථාවක් යන්න මගේ තක්සේරුවයි. 


මහාචාර්ය විජේසූරියගේ මා නිරීක්ෂණය කළ කිසියම් සීමාසහිතකම් කීපයක්ද ඇත. එකක් නම් ඔහු ද්විභාෂික උගතෙකු නො වීමයි. ජාත්‍යන්තර භාෂාව වන ඉංගිරිසිය පිළිබඳව ඔහුට ඉහළ ප්‍රවීණතාවයක් නොවූ බව මගේ නිරීක්ෂණයයි. ඔහුගේ දේශනවලදී බොහෝ උධෘතයන් ඉදිරිපත් කළත් ලෝකයේ විශිෂ්ට ඥාන කෝෂ්ඨාගාරය ලියැවුණු ඉංගිරිසි බසින් කරන උධෘතයන් මා දැක නො මැත. ඔහුගේ ශාස්ත්‍රීය සම්ප්‍රදානය බරපතළ ලෙස සීමා කිරීමට මෙම අඩුපාඩුව හේතුවූ බව මගේ නිගමනයයි. එමෙන්ම සිංහල මහාචාර්යවරයෙක් වුවද සිංහලයේ මාතෘ භාෂා වූ පාලි හෝ සංස්කෘත පිළිබඳව ගැඹුරු පරිචයක් ඔහුට තිබූ බව මා දැක නැත. එනිසා ඔහුගේ ශාස්ත්‍රීය වපසරිය නූතන සිංහලය යන සීමාවට පමණක් කොටු විය. පෙරදිග ඥාන කෝෂ්ඨාගාරයට ඇතුළු වීමට තිබෙන යතුරු වන සංස්කෘත හා පාලි භාෂාවනුත්, අපරදිග ඥාන කෝෂ්ඨාගාරයට ඇතුළු වීමට තිබෙන යතුර වන ඉංගිරිසි භාෂාවත් මගහැරීම නිසා ඔහුට ඉතා පටු අවකාශයක ක්‍රීඩා කිරීමට සිදුවිය. ඔහුගේ විෂයේ පූර්වජයින් වූ සරච්චන්ද්‍ර, ගම්ලත් ආදීන් අභිමුව ඔහු අඟුටුමිට්ටෙකු වනුයේත්, තම පූර්වජයින් සමතික්‍රමණය කිරීමට ඔහු නො සමත් වනුයේත් මෙම සීමාසහිතකම් නිසා බව මගේ අදහසයි.


... රවි කළුපහණ ...


( ලිපිය සංවාදයට විවෘතයි,

මීලඟ ලිපියෙන් මහාචාර්ය සරත් විජේසූරියගේ ලේඛන පිළිබඳව කතා කිරීමට බලාපොරොත්තු වෙමි.


මගේ ලිවීමේ ගාස්තුව නම් ඔබේ අදහස් ය. )

Comments

Popular posts from this blog

කිමද උන් මා දෙස නො ලැග්ගේ

විශ්වවිද්‍යාලයෙන් පැන්නූ "විශ්වවිද්‍යාලය"

ආලෝක වර්ෂ ගණනාවක් ඉදිරියෙන් සිටි සයිමන් නවත්තේගම